මියුරස වින්දන 6

මියුරස වින්දන 6

ගීත එකතුව

  1. වාදකයාණනි (සුනිල් එදිරිසිංහ / සමන් චන්ද්‍රනාත් වීරසිංහ / පී වී නන්දසිරි)
  2. කොමල ලියා (මිල්ටන් පෙරේරා / ධර්මසිරි ගමගේ / ක්ලැරන්ස් විජේවර්ධන)
  3. රුසිරු කිඳුරු හීනයක් (ඉන්ද්‍රාණි පෙරේරා / ධර්මසිරි ගමගේ / පණ්ඩිත් අමරදේව)
  4. වැලිබත් ඉදෙනා (මාලිනී බුලත්සිංහල / වසන්ත කුමාර කොබවක / තිස්සසිරි පෙරේරා)
  5. පෙම්බර දේවී මගේ පණ හා සරී (සනත් නන්දසිරි, මල්කාන්ති නන්දසිරි, මාලිනී බුලත්සිංහල / චාල්ස් ඩයස් / *)

1. වාදකයාණනි

සුනිල් එදිරිසිංහයන් සිංහල සංගීත ක්ෂේත්‍රයට මුලින්ම එකතුවෙන්නේ චිත්‍රපට ගීතයකින්. ඒ 1973 එතුමාගේ සොහොයුරා වන සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් අධ්‍යක්ෂණය කල මාතර ආච්චි චිත්‍රපටයේ "සඳකඩ පහණක කැටයම් ඔපලා" ගීතයෙන්. සුනිල් එදිරිසිංහයන් සරල ගී ගායනයට එකතු වෙන්නේ 1974දී. ජී එස් බී රාණි පෙරේරා නිෂ්පාදනය කල ප්‍රබුද්ධ ගී නම් වැඩසටහනකයි එතුමාගේ මුල්ම සරල ගීතය වන "වාදකයාණෙනි ඔබේ සිතාරය" ගීතය අඩංගු වුනේ. ප්‍රබුද්ධ ගී වැඩසටහන 1970 දශකයේ වඩාත් ජනප්‍රියත්වයට පත්වූ ගීත රැසක් එලි දක්වන්නට වේදිකාවක් වුණා.

වාදකයාණෙනි ඔබේ සිතාරය
සත්සර නංවන සුමිහිරි රාවය
කෙතක ගොයම් නෙලනා ළඳුන්ගේ
දෙතොලේ ගීයට මුසුකල මැනවී"

මේ කාලයේ මේ වගේ "විකල්ප" අදහස් / විප්ලවවාදී අදහස් සහිත ගීත ලියන්නට ගීත රචකයන් යොමුවී ඇති බව පෙනෙන්නට තියෙනවා. ඩෝල්ටන් අල්විසුන් රචනා කල "උඩඟු ලියන් ගොතා බඳින" ගීතය, ප්‍රියානන්ද විජේසුන්දර රචනා කල "ප්‍රේම යාතිකා ඇති ඔබ ගැයුවා ගායකයාණෙනි මනබඳනා" ගීතය, උදය මානවසිංහ රචනා කල "මන්දිර මණ්ඩප සිහසුන් දරනා" ගීතය ආදිය නිදසුන් හැටියට සඳහන් කරන්නට පුළුවන්.

 

මේ කාලයේ වැඩකරන ජනතාව ගැන බොහෝ දෙනා කතා කළා. කලාව යනු මිනිසුන් සතපවන දෙයක් නොව, මිනිසුන් අවදි කරන දෙයක් විය යුතුය යන මතය මේ කාලයේ ජනතාව අතර පැතිරිලා තිබුණා. කලාකරුවන් මේ මතය තමයි උද්දීපනය කරන්නට පෙළඹුනේ ඔවුන්ගේ මේ වගේ නිර්මාණ තුලින්.

වාදකයාණෙනි ගීතයේ පද රචනය කලේ සමන් චන්ද්‍රනාත් වීරසිංහයන්. සංගීත නිර්මාණය කලේ සංගීත් නිපුන් පී වී නන්දසිරි ශුරීන්. පී වී නන්දසිරි මහතා ගායනා කල සහ සංගීත නිර්මාණය කළ බොහොම ගීත ශාස්ත්‍රීය සංගීතයට නැඹුරුයි. මේ ගීතයේත් අපට ඒ ලක්ෂණය දකින්නට පුළුවන්.

2. කොමල ලියා

කොමල ලියා බොළඳ ලියා මාව දමා යන්න ගියා නම් ගීතය එච් ඩී ප්‍රේමරත්නයන්ගේ මුල්ම සිනමා නිර්මාණය වන 1975 තිරගත වූ සිකුරුලියා චිත්‍රපටයේ එන ගීතයක්.මේ චිත්‍රපටය තමයි ක්ලැරන්ස් විජේවර්ධනයන් මුලින්ම සිනමා සංගීත අධ්‍යක්ෂණය කල චිත්‍රපටය.

එච් ඩී ප්‍රේමරත්නයන් පසු කලෙක සමාන්තර සිනමාව පිලිබඳ අපූරු නිර්මාණයන් රාශියක් එක් කල චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක්. පසු කලෙක ඔහු රූපවාහිනිය තුලින් බොහෝ නිර්මාණ ඉදිරිපත් කරන්නට දායක වෙලා තියෙනවා. ක්ලැරන්ස් විජේවර්ධනයන් එච් ඩී ප්‍රේමරත්නයන්ගේ තවත් චිත්‍රපටියක් වන අපේක්ෂා චිත්‍රපටයටත් අපූරු ගීත ගොන්නක් සමග සංගීතය නිර්මාණය කළා. එච් ඩී ප්‍රේමරත්නයන් එවකට තිබුණු සිනමා සංගීතයේ කිසියම් වෙනසක් කරන්නට බලාපොරොත්තුවෙන් ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ සහාය ලබා ගත්තා වෙන්නට පුළුවන්.

චිත්‍රපටයේ එන සිදුවීම් පෙළ, කාලගෝල කතා පුවතට සමානත්වයක් දක්වනවා. තරමක් උසින් අඩු පුද්ගලයෙක් ඉතාමත් රූමත් කාන්තාවක් සමග විවාහ වෙනවා. ඒ විවාහ ජීවිතයේ එන යම් යම් විපර්‍යාසයන්, හැල හැප්පීම් තමයි මේ චිත්‍රපටයට පදනම් වෙලා තියෙන්නේ. ඒ සිදුවීම් ඉස්මතු කරන්නට සමත් වුණු අපූරු සංගීතයක් ක්ලැරන්ස් විජේවර්ධනයන් මේ චිත්‍රපටය පුරාම විහිදුවා තිබුණා.

ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ පසුබිම කණ්ඩායම් සංගීතයයි. එතුමා මීට කලින් කල සංගීත නිර්මාණ වල තිබුනේ බටහිර සංගීත ආර - භාවිතා වුණේ බටහිර සංගීත භාණ්ඩ. නමුත් මේ ගීත නිර්මාණ වලට පෙරදිග සංගීත ආර මුසු කරගෙන තියෙනවා. පෙරදිග සංගීත භාණ්ඩත් භාවිතා කර තියෙනවා. මෙය පෙර අපර දෙදිග සංගීත සම්ප්‍රදායන්ගේ මිශ්‍රණයක් (fusion) හැටියට සලකන්නට පුළුවන්.

ගීතයේ තුන්වන අන්තරා කොටස වන "ආදරයෙන් ඔබ හින්දා මා මනසින් දුක් වින්දා පාළුව ළඟ මා රන්දා සිකුරුලියා" යන කොටසේ අවසාන පදය - පාළුව ළඟ මා රන්දා - ගී තැටියෙන් ඉවත් වී තිබෙනවා කුමක් හෝ හේතුවක් නිසා. චිත්‍රපටයේ හඬ පටයේ නම් එය සම්පූර්ණයෙන්ම තියෙනවා.

මේ ගීතයේ පද රචනය කලේ ධර්මසිරි ගමගේ. ගායනය කරන්නේ මිල්ටන් පෙරේරා.

3. රුසිරු කිඳුරු හීනයක්

ක්ලැරන්ස් විජේවර්ධනයන් වගේම කණ්ඩායම් සංගීතය තුලින් බිහිවුණ තවත් කෙනෙක් තමයි ඉන්ද්‍රාණි පෙරේරා මහත්මිය. 1970 දශකය වෙනතුරුම එතුමියගේ ගීත වලත් තිබුණේ බටහිර සංගීත ආර. ත්‍රී සිස්ටර්ස් ගායිකා කණ්ඩායමේ සමහර ගී තැටි වලට වයලීන යොදා ගෙන තිබුණත් ඒ ගීත වල තිබුණේ බටහිර සංගීත ආර. නමුත් පසුව ඇය ගුවන් විදුලියේ එවකට ප්‍රධානියා වූ රිජ්වේ තිලකරත්නයන්ගේ ආරාධනයෙන් පෙරදිග සංගීතයට සරල ගී කිහිපයක් ගායනා කලා. "වසර ගණන් ඇසුරේ සිටියත් අපි හඳුනා ගමුද කෙසේ", අබේවර්ධන බාලසූරිය සමග ගායනා කළ "වැළිබත් ඉවුවා මතකයි අපි දෙන්නා", "සඳකිඳුරී මා සඳකිඳුරී" වගේ ගීත මේ ගණයට අයත්.

මා හිතන හැටියට එතුමියගේ පෙරදිග සංගීතයට ගැයුණු මිහිරිම ගීත දෙක නම් එතුමිය විමල් වෛද්‍යසේකරයන් අධ්‍යක්ෂණය කල තරංගා චිත්‍රපටය සඳහා අමරදේවයන්ගේ සංගීතයට ගායනා කල ගීත දෙකයි. දේවානන්ද වෛද්‍යසේකරයන් සමග ගයන "පවන් සුසුම් රැලින් වෙලී" ගීතය ඉන් එකක්. අනෙක් ගීතය තමයි අප මීලඟට අහන්නට යන "රුසිරු කිඳුරු හීනයක්" ගීතය. තරංගා චිත්‍රපටයේ තවත් විශේෂත්වයක් වන්නේ අමරදේවයන්ගේ සංගීතයට එච්. ආර්. ජෝතිපාලයන් ගායනා කල ගීතයකුත් අඩංගු වීම. "කන්දෙන් කන්දට - ලන්දෙන් ලන්දට" ගීතයයි ඒ.

"රුසිරු කිඳුරු හීනයක්" ගීතය ගැයෙන්නේ චිත්‍රපටයේ එන උපන් දින සාදයක දර්ශණ පෙළක. මේ ගීයේ ගී පද රචනය කලේ ධර්මසිරි ගමගේ.

4. වැලිබත් ඉදෙනා

පසුගිය ඉරිදා සිළුමිණ පුවත් පතේ බොහොම කණගාටුදායක ලිපියක් පළවී තිබුණා. ඒ ප්‍රවීණ වාදන ශිල්පී සහ සංගීත අධ්‍යක්ෂක තිස්සසිරි පෙරේරා බරපතල රෝගාතුර වී ඇති බව කියන ලිපියක්. ගුවන් විදුලි වාදක මඩුල්ලේ 1970 - 80 දශකවල සිටි ප්‍රවීණම වයලින් වාදකයන් ත්‍රිත්වය තමයි ඩී ඩී ගුණසේන, කළණි පෙරේරා, තිස්සසිරි පෙරේරා යන තිදෙනා. රූපවාහිනියේ ආගමනයත් සමග රූපවාහිනියේ ප්‍රදර්ශනය වූ සංගීත වැඩසටහන් වල අනිවාර්‍යයෙන්ම තිස්සසිරි පෙරේරා මහතා වයලීන වාදන කරන දර්ශණ අපට දකින්නට ලැබුණා.

තිස්සසිරි පෙරේරා මහතා වයලිනය වගේම තවත් වාද්‍ය භාණ්ඩ කිහිපයක්ම අති දක්ෂ ලෙස වාදනය කලා. පෙරදිග සංගීතයට නිර්මාණය වුණු සිංහල ගීත වලට සරපුවරුව (keyboard) බහුල ලෙස භාවිතා වන්නට පටන් ගත්තේ 80 දශකයේ මුල සිට පමණ. ඉන් පසුව අපේ බොහොමයක් වාදක මඬුලු වල නිත්‍ය සරපුවරු වාදකයා වුණේ එතුමා. පසු කාලයේ කැසට් පට සහ සංගත තැටි බොහොමයක සංගීත අධ්‍යක්ෂණය කලේත් එතුමා. ඊට අමතරව එතුමා ගීත විශාල ප්‍රමාණයක සංගීතය නිර්මාණයත් කර තියෙනවා.

1980 දශකය වන විට ගුවන් විදුලියේ අලුත් ගීත නිර්මාණය වීම එක්තරා අතකට පසුබෑමකට ලක් වී තිබුණා බොහොමයක් ගායක ගායිකාවන් ගුවන් විදුලියෙන් බැහැරව කැසට් පට සඳහා ගීත නිර්මාණයට වැඩි කැමැත්තක් දැක්වූ නිසා. නමුත් මේ තත්වය තරමක් හෝ වෙනස් කරන්නට සමත් වුණා සංගීත නව නිර්මාණ නම් වූ වැඩ සටහන් මාලාවක්. ගුවන් විදුලියේ ගීත රචනා බැංකුවට ලැබුණු නවක ගීත රචකයින්ගේ ගීත තමයි මේ වැඩසටහනින් ඉදිරිපත් වුණේ. ඒ වගේම ඩී ඩී ගුණසේන, කළණි පෙරේරා, තිස්සසිරි පෙරේරා යන තිදෙනාගේ මුල්ම සංගීත නිර්මාණ ඇතුලත් වුණේත් මේ වැඩසටහන් වල ගීත වලට. එඩ්වඩ් ජයකොඩි ගායනා කරන "කැරකෙන රෝදේ", නීලා වික්‍රමසිංහ ගායනා කරන "සිලිං බිලිං" වගේ ගීත මේ වැඩ සටහන් වලින් බිහිවුණු ජනප්‍රිය ගීත.

එයින් එක් වැඩසටහනකට තිස්සසිරි පෙරේරා මහතා සංගීත නිර්මාණය කල, වැලිබත් ඉදෙනා නම් වූ ගීතය තමයි අප මීලඟට අහන්නට යන්නේ. ගීතය රචනා කර ඇත්තේ වසන්ත කුමාර කොබවක. ගායනා කරන්නේ මාලිනී බුලත්සිංහල. මේ ගීතයෙන් කියැවෙන්නේ තම උකුලේ දරුවකු නලවන මවකගේ සිතුවිලි ගැන. ඇය තම දරුවා නලවන උකුල් තලාවේම ළමා අවදියේදී බෝනික්කන් නැලවූ හැටි සිහිපත් කරනවා.

තිස්සසිරි පෙරේරා සංගීතවේදියාණන්ගේ වාදන කුසලතාවයෙන්, සංගීත නිර්මාණයෙන් සහ සංගීත අධ්‍යක්ෂණයෙන් ගීත සිය දහස් ගණනක් රසවත් වෙන්නට ඇති. සුවහසක් රසිකයින් පිනවන්නට තමන්ගේ හැකියාව නිරන්තරයෙන්ම ඇප කැප කල එතුමන්ට ඉක්මන් සුවය ලැබේවා යැයි අපි ප්‍රාර්ථනා කරමු මියුරස වින්දන වැඩ සටහන වෙනුවෙන්.

5. පෙම්බර දේවී මගේ පණ හා සරී

1914දී චාල්ස් ඩයස් ශූරීන් විසින් නිර්මාණය කල පද්මාවතී නාටකයේ එන ගීයක් අප මීලඟට ඉදිරිපත් කරන්නේ. පද්මාවතී නාටකයේ එන ගීත අතුරින් වඩාත්ම ජනප්‍රිය ගීතය තමයි "දැක්කොත් පද්මාවතී ආලේ නොකරා බැරී" කියන ගීතය. pembara-devee-mage

මේ ගීතයේ අර්ථය තේරුම් ගැනීමට පහසුයි එය නාටකයේ ගැයෙන පසුබිම විස්තර කළොත්. ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රදේශයේ රජතුමා රතනසේන විවාහ වුනේ ලංකාවේ ඉපැදුනු පද්මාවතී නම් වූ කුමාරියක් සමග. පද්මාවතියගේ රූ සොබාව නිසා වියරු වැටුණු දිල්ලියේ අලවුදීන් රජු රතනසේන රජු පැහැරගෙන ගොස් රඳවා ගන්නවා, රජු නිදහස් කිරීමට නම් පද්මාවතී බිසව එවන ලෙස කියමින්. නමුත් රතනසේන රජතුමාගේ මැති ඇමතුවරු සහ සෙනෙවිවරු උපක්‍රමශීලීව රජතුමා මුදවා ගන්නවා. රජතුමා ආපසු පැමිණීම රටවැසියන්ටත් බිසව සහ පුත් කුමාරයාටත් මහත් අස්වැසිල්ලක් වෙනවා. ගීතය ගයන්නේ රජතුමා, බිසව සහ පුත් කුමාරයා.

1970 දශකයේ සූරිය ලේබලයෙන් නිකුත්වූ නුර්ති ගී නම් වූ LP (දීර්ඝ ධාවන) තැටියක මේ ගීතයත් අඩංගු වුනා. එය ගායනය කරන්නේ සනත් නන්දසිරි, මල්කාන්ති නන්දසිරි සමග මාලිනී බුලත්සිංහල. ගීතයේ පද රචනය කලේ චාල්ස් ඩයස් ශූරීන්. එතුමාගේ නාටක වල සංගීත නිර්මාණය සංගීතඥයින් කිහිප දෙනක් අතින් සිදුවුණා. මේ ගීතයේ සංගීතය ඒ අතරින් කාගේදැයි නිශ්චිතව කොතැනක වත් සඳහන් වෙලා නෑ.