රූබර වසත් කුමරි

රූබර වසත් කුමරි

[[ මල් ගොමු ගුමු ගන්වන්නී
මී වදවල පැණි පුරවන්නී ]]
කුරුලු සරින්
කුරුලු සරින් කන් පිනවන්නී
මුළු ලොව උයනක් කරවන්නී

[[ රූබර වසත් කුමරි - නමත් මිහිරි
නාඹර ගෝමර රැඳි මනරම් ]]
නව සිරිනී - මල් බරිනී //
වැජඹේ ලැබ මිහිකතගෙ වරම්
ජම්බු ගහට රත පොරවන්නී
බක් මී ගහ කහ අන්දන්නී
අඹ දළු ළා රත තවරන්නී
ලෝ කත විසිතුරු කැරැලන්නී

මල් ගොමු ගුමු ගන්වන්නී
මී වදවල පැණි පුරවන්නී
රූබර වසත් කුමරි...

එරබදු පැහැයෙන් දුලවන්නී
නා ගස් සුවඳින් බැඳැලන්නී
විලේ නෙළුම් මල් පොබයන්නී
නෙත ගිය ගිය අත සනසන්නී

මල් ගොමු ගුමු ගන්වන්නී
මී වදවල පැණි පුරවන්නී
රූබර වසත් කුමරි...

ගතට සිතට නව පණ දෙන්නී
දස දෙස සොම්නස ගෙනැ යන්නී
අවුරුදු කිරි බත උයවන්නී
හෙළයට ආසිරි සලසන්නී

මල් ගොමු ගුමු...
රූබර වසත් කුමරි...

arisen-ahubudu
amaradeva-wasantha-geethaya-cd

අරිසෙන් අහුබුදුවන් ලියූ, අමරදේවයන්ගේ සංගීතයෙන් සහ ගායනයෙන් ඔපවත් වුණු මේ ගීතය ගැන ඩබ්ලියු. ඒ. අබේසිංහයන් සංස්කරණය කළ, අමරදේවයන්ගේ ගී රස මුවරද කෘතියේ මෙසේ සඳහන් වෙනවා.

මේ ගීතය මා මුලින්ම සංගීතය යොදා ගායනා කලේ IAS නමින් හැට ගණන්වල අග භාගයේ ප්‍රචලිතව පැවති සුප්‍රකට වෙළඳ ප්‍රචාරක ආයතනයක් විසින් සංවිධානය කරන ලද වෙළඳ වැඩසටහනකට. සේවාදායකයා ජිනසේන සමාගම. IAS ආයතනයේ ප්‍රධානියා හැටියට කටයුතු කළේ, ටිම් හොෂින්ටන් නමැති ගුවන් විදුලිය ශිල්පයේ කීර්තිමත් දැවැන්තයෙක්. මට ඩබ්ලියු. ඒ. අබේසිංහ, අර්වින් වීරක්කොඩි, සිරිල් බී. පෙරේරා, රැලෙක්ස් රණසිංහ, රාජදොරේ වැනි සහෘදයින් මුණගැහුණේ ඒ ආයතනයේදී. වැඩසටහන සඳහා, පරෙවිය - සාම අස්නෙන් මේ ගීතය තෝරා දුන්නේ, අබේසිංහ.

මෙම රචනයේ මුඛ්‍යාර්ථය අවුරුදු අසිරියයි. අවුරුදු අසිරිය නිරූපණය කරනු සඳහා කවියා විසින් යොදාගෙන තිබුණු සිව්මත් කැටි විරිත අතිශයින් ගැලපුණා. මා එය ස්වර වලට නගන විට අනායාසයෙන්ම මා සිතට නැගුණේ, සරල සුගම ශුද්ධ ස්වර සමුදායක්. එමගින් ශෘංගාර රසයද දැනවෙන පරිදි, අවුරුදු අසිරිය මැනවින් ප්‍රකාශ වෙනවා. පසු කලෙක මා ගුවන් විදුලියටත් ඒ ගීතය ගායනා කළා. අද මල් ගොමු ගුමු ගුමු ගීතය අලුත් අවුරුදු කාලයට නැතිවම බැරි ගීතයක් බවට පත් වෙලා."

අරිසෙන් අහුබුදුවන්ගේ කවිත්වය ගැන අමරදේවයන් මේ කෘතියේ මෙහෙම කියනවා.

අරිසෙන් අහුබුදු කියන්නේ, භාෂාවෙන් පෙළහර පාන්නට සමත් රචකයෙක්.... ඔහු බසින් පෑ පෙළහර වඩාත්ම ප්‍රකට වන ඔහුගේ කාව්‍ය දෙකක් තියෙනවා. එකක් තමයි පරෙවිය - සාම අස්න. අනෙක් කාව්‍යය, රස දහර. මේ කෘතීන් දෙක්හිදීත්, ඔහු ලියූ අනෙක් සියලුම ගීත රචනාවලදීත්, ඔහු භාෂාව වහරන්නේ, ඒ පිළිබඳ සක්විත්තෙක් හැටියට. සියලුම අවස්ථාවලදී උචිත පදය පමණක්ම යෙදීම, ඔහුගේ නිර්මාණයේ වැදගත් ලක්ෂණයක්. මුනිදාස කුමාරතුංගගේ හෙළ හවුල ගුරු කුලයේ ප්‍රබලයෙක් වුණාට, භාෂාව අගතිගාමී නොවී නිර්මාණාත්මක ලෙස ස්වාධීනව වහරන්ට, ඔහු හැම විටම වැයම් කරනවා. ඔහු බසේ වහලෙක් නොවෙයි. ඔහු බස තමාගේ වහලකු කරගන්නවා. ඇත්තටම අහුබුදු කියන්නෙ, වදන් වඩුවෙක්. ඕනෑම තැනකින් සිය බස නැමිය හැකි - මොළොක් කළ හැකි - මහ කවියෙක්.......

මල් ගොමු ගුමු ගීතයේත් ඒ ලක්ෂණ සියල්ලම තියෙනවා. බසෙහි වියත්බව තරමටම, නිර්මාණයෙහි අපූරු කවීත්වයද එහි මනාව මතු වෙනවා. ඒ නිසා මෙම ගීතය නිර්මාණය කිරීම, මට දුලබ ආස්වාදයක් ලබා දුන් අත්දැකීමක්.

පරෙවිය - සාම අස්න කෘතියේ මේ ගීතය නම් කර ඇත්තේ මඟුල් ගීය ලෙසිනුයි. ගීතය පැදි නමයකින් සමන්විත වෙනවා. parewiya-saama-asnamagul-geeya-1 magul-geeya-2

"මල් ගොමු ගුමු ගුමු" ගීතය සුනිල් සාන්තයන් විසිනුත් මධුර මධු වැඩසටහනක ගායනා කර තිබෙනවා, නාලිනී රණසිංහ සමග. නමුත් ඒ ගායනයේ ඇත්තේ මඟුල් ගීයේ මුල් පැදි හය (49-54) පමණයි.

අමරදේවයන්ගේ ගායනයේත් අඩංගු වන්නේ මඟුල් ගීයේ මුල් පැදි තුන (49, 50, 51) සහ තවත් පැදි දෙකක (55,56) පද එකතු කර ගනිමින් සහ තරමක් වෙනස් කරමින් සාදා ගත් පැදියක් පමණයි. poems-changed

ඉහත පැදි හතරට අමතරව, අන්තර් වාදනය සහ එකතුව වෙනත් තාලයකට ගැයෙන "රූබර වසත් කුමරි" නම් පැදිය අමරදේවයන්ගේ ගායනයට අමුතුවෙන් එකතු කර තියෙනවා. මේ පැදිය සහ අන්තර් වාදනය එකතුව සැදුණ කොටස අනෙක් පැදි හැම දෙකක්ම අතරට නැවත නැවත ගායනය/වාදනය වෙනවා. ආරම්භක වාදන ඛණ්ඩය (introduction) සහ අන්තර් වාදන ඛණ්ඩ (interlude) වලට අමතරව "මල් ගොමු ගුමු ගුමු" පැදියේ සහ "රූබර වසත් කුමරි" පැදියේ ගී පද අතරටත් සංගීත ඛණ්ඩ යොදා තියෙනවා. මේ හේතු නිසා ගීතයේ ධාවන කාලය විනාඩි 7:30 ක් දක්වා දික් වී තියෙනවා.

පදමාලාවට අමුතුවෙන් එක් කළ "රූබර වසත් කුමරි" කොටස රචනා කළේ අමරදේවයන් බවත්, අහුබුදුවන් මේ ගායනා දෙකින් අමරදේවයන්ගේ ගායනයට වඩා කැමත්තක් දැක්වූ බවත් ගුවන් විදුලියේ වෙළඳ සේවයේ නිවේදක සම්පත් සල්පිටිකෝරාල පවසනවා. mal-gomu-gumu-gumu-sakwithi-kith-resa අරිසෙන් අහුබුදුවන් ගේ සක්විති කිත් රැස ගී සරණියේ, ඉහත පැදියේ අවසාන පදය "වැජඹේ වැජඹේ ගත දෙවරම්" යනුවෙන් සඳහන් කර ඇතත්, එය "වැජඹේ ලැබ මිහිකතගෙ වරම්" ලෙස නිවැරදි විය යුතු බව මගේ අදහසයි. ගීතය අවධානයෙන් යුතුව සවන් දුන් විට නිවැරදි පද පහසුවෙන් හඳුනාගන්නට පුළුවන්.

1980 දශකයේ අමරදේවයන් මේ ගීතය නැවත ගායනා කළා සින්ග්ලංකා සමාගම නිකුත් කළ අමරදේවයන්ගේ දෙවන කැසට් පටය වූ වසන්ත ගීතය කැසට් පටය වෙනුවෙන්. නමුත් මෙම පටිගත කිරීමේදී "රූබර වසත් කුමරි" කොටස ගීතයට ඇතුලත් කර නැහැ. මේ කැසට් පටය සැබැවින්ම ස්ටීරියෝ (stereo) තාක්ෂණයෙන් පටිගත වූ පළමුවන සිංහල ගීත කැසට් පටය බව මගේ මතකයයි. මීට කලින් කැසට් පට කිහිපයක්ම ස්ටීරියෝ තාක්ෂණයෙන් පටිගත කර ඇති බව කවරයේ සඳහන් කර තිබුණ නමුත්, ඒවාගේ වම සහ දකුණ නාලිකා දෙකෙහිම අඩංගු වී තිබුණේ එකම ශබ්ද පටයන් වූ අතර ඒවායින් කිසිත් ස්ටීරියෝ රූපයක් (stereo image) ජනිත වුණේ නැහැ. amaradeva-wasantha-geethaya