මියුරස වින්දන ගැන

මියුරස වින්දන ගැන

මියුරස වින්දන සුභාවිත ගීතයේ රස පහස සොයා යන සෞන්දර්යාත්මක චාරිකාව 2015 වසරේදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කඳුරට සේවයෙන් විකාශණය වූ වැඩසටහනක්. එෆ් එම් තරංග මාලා මෙගා හර්ට්ස් 90.1, 107.3 සහ 107.5 සංඛ්‍යාත තුලින් ඔබට කඳුරට සේවයට සවන් දෙන්නට හැකියි.

මේ වැඩ සටහනින් අප ඉදිරිපත් කරන්නේ නිතර නෑසෙන සුභාවිත සිංහල ගීත. හැකි සෑම අවස්ථාවකම අප ගීතයේ මුල් පටිගත කිරීමයි ඉදිරිපත් කරන්නේ. ඒ වගේම, ගීතය පමණක් වාදනය නොකර ගීතයේ පද රචනය, සංගීත නිර්මාණය, වාදනය සහ ගායනය කළ කලා කරුවන්ගේ විස්තරත්, ගීතය පිළිබඳ රස වින්දනාත්මක විග්‍රගයකුත්, ගීතය පිළිබඳ වෙනත් රසවත් තොරතුරුත් එකතු කරන්නට අපි හැම විටකම උත්සුක වෙනවා. සමහර වැඩසටහන් වලට, සිංහල ගීත වලට අමතරව මියුරු විදෙස් ගීතයකුත් ඒ ගැන තොරතුරුත් අප එකතු කරනවා.

මේ වැඩසටහනින් ප්‍රචාරය වන ගීත වලින් බොහොමයක් මා විසින් කාලයක් තිස්සේ සංරක්ෂණය (preservation) සහ පුනස්ථාපනය (restoration) කල ගීතයි. ගීත සංරක්ෂණය සහ පුනස්ථාපනය කිරීම ගීතයේ අන්තර්ගතයට කිසිදු හානියක් නොවන අන්දමින්, උසස් තත්වයේ උපකරණ සහ නවීනතම තාක්ෂණ ශිල්ප ක්‍රම භාවිතා කරමින්, ඉතා පරෙස්සමින් සිදු කරන බවත් විශේෂයෙන් සඳහන් කළ යුතුයි.

වැඩ සටහන ඉදිරිපත් කරන්නේ කඳුරට සේවයේ සිටි ප්‍රවීණ නිවේදකයෙක් වන දැනට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රාදේශීය සේවා පිළිබඳ උපදේශක වරයෙකු ලෙස කටයුතු කරන චූලාභය ශාන්ත කුමාර හේරත්. වැඩ සටහන නිෂ්පාදනය කරන්නේ කඳුරට සේවයේ ඉන්දික විජේසිරියි.

මියුරස වින්දන වෙබ් අඩවිය පවත්වා ගෙන යන්නේ හිතවත් විශ්වනාත් රත්නවීරගේ දිරිගන්වීමෙන්, අනුග්‍රහයෙන්, තාක්ෂණික දායකත්වයෙන් සහ මූලිකත්වයෙන්. තවත් මිතුරන් කිහිප දෙනෙකුම මෙහිදී අපට සහාය වෙනවා.

වෙබ් අඩවියේ ඇති තොරතුරු සහ රූප සමහරක් වෙනත් මූලාශ්‍රයන් ගෙන් ලබා ගෙන ඇත. යම් මූලාශ්‍රයකින් සැලකිය යුතු තරම් තොරතුරු ලබා ගෙන ඇති සෑම අවස්ථාවකම ඒ මූලාශ්‍රය ගැන සඳහනක්ද කර ඇත. වෙනත් මූලාශ්‍ර වලින් ලබාගත් තොරතුරු සහ රූප වලට අමතරව මෙහි ඇති ගීත, තොරතුරු සහ රූප වල ප්‍රකාශන අයිතිය (Copyright) අප සතුය. එම සම්පත් Creative Commons Attribution-Non Commercial බලපත්‍රය යටතේ, වාණිජ නොවන කාර්යයන් සඳහා පමණක් උපුටා ගැනීම කළ හැක. එසේ කිරීමේදී ඒවාගේ මූලාශ්‍රය ලෙස මියුරස වින්දන වෙබ් අඩවිය ගැන සඳහන් කරන්නට කාරුණික වෙන මෙන් පාඨක ඔබගෙන් ඉල්ලා සිටිමු.