මියුරස වින්දන 12

මියුරස වින්දන 12

ගීත එකතුව

  1. මා ඔබේ සුදා (රුක්මණී දේවි / හර්බට් එම් සෙනෙවිරත්න / * )
  2. සඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේ (මිල්ටන් පෙරේරා, මල්ලිකා කහවිට / කරුණාරත්න අබේසේකර / අමරදේව )
  3. වනමල් පියලි සලා (ඉන්ද්‍රානි වියජබණ්ඩාර / සරත් විමලවීර / පී ඩන්ස්ටන් ද සිල්වා )
  4. රයිගමයාණනි ගම්පලයාණෙනි ( ප්‍රෙඩී සිල්වා, ජයතිස්ස හෙට්ටිආරච්චි / කරුණාරත්න අබේසේකර / මොහොමඩ් සාලි )
  5. කාලයේ විසඳුම් ( ස්ටැන්ලි පීරිස්, නීලා වික්‍රමසිංහ / ප්‍රේමකීර්ති ද අල්විස් / ස්ටැන්ලි පීරිස් )

1. මා ඔබේ සුදා

rukmani-deviරුක්මණී දේවිය ගායනයට පිවිසෙන්නේ 1939 වසරේදී එච් ඩබ්ලිව් රූපසිංහ මාස්ටර් සමග සිරි බුද්ධගයා විහාරේ ගීතය ගායනා කරමින්. ඒ වන විට එතුමියගේ වයස අවුරුදු 13යි. මේ ලංකාවේ පටිගත වුණු මුල්ම HMV තැටියයි. ගීතය පටිගත කළ අවස්ථාව ගැන එතුමිය වරෙක මෙහෙම කියා තිබුණා.

"මේ ගීතය පටිගත වුනේ බොරැල්ලේ තැනක. එතැනට ගියාට පසු මගේ බය හොඳටම වැඩි වුණා. තවත් ප්‍රසිද්ධ ගායක ගායිකාවනුත් ඔවුන්ගේ ගීත පටිගත කරන්නට එතැනට ඇවිත් සිටියා. එතැන හිටිය එකම නවකයා මම විතරයි. අනෙක් අය ඒ කාලයේ ජනප්‍රිය ගායක ගායිකාවන්. ඒ අයත් සමග එකට ගායනා කරන්නට ලැබුණු එක ගැන මම ලොකු සතුටකින් හිටියේ. ඒත් ඒ එක්කම ලොකු බයකුත් තිබුණා. කොහොමහරි මම රූපසිංහ මාස්ටර් සමග ගීතය ගැයුවා. මම ගීතය ගායන කළාට පස්සේ එතෙක් වෙලා මාව ගණනකට නොගෙන සිටි අය පවා ඇවිත් මට සුභ පැතුවා."

පසු කලෙක එතුමිය ගායක ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වූ පසුව ඇය නවක ගායකයින් බොහොමයක් සමග යුග ගීත ගායනා කර තිබෙනවා. මට හිතෙන්නේ ඒ ප්‍රවීණයෙකුගේ උදවුව නවකයෙකුට මොන තරම් ලොකු බලපෑමක් කරන්නන පුලුවන්ද කියන එක එතුමිය හොඳටම දන්න නිසයි.

ඇයගේ ස්වර්ණ ගී නම් ඒක පුද්ගල ගීත ප්‍රසංගයට සියලු කටයුතු සූදානම් කර තිබියදී ඊට දින දෙකකට පෙර 1978 ඔක්තෝබර් 28 දින එතුමිය හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත් වුණා. මට හොඳට මතකයි ගුවන් විදුලියේ ඒ ගැන කළ විශේෂ වැඩසටහන. එදා කතා කළ බොහොම දෙනෙක් කතා කළේ එතුමියගේ ඇති නිහතමානී ගතිගුණ ගැන. මට හොඳින්ම මතකයි ඒ වැඩ සටහනේ ජෝ අබේවික්‍රම කියනවා චිත්‍රපටයක් රූපගත කිරීමේදී නවකයෙක් කෑම හොඳ මදි කියා කියනවිට රුක්මණී දේවිය ඔහුට අවවාද කල හැටි ගැන. ඒ වැඩ සටහනේ මොහිදීන් බෙග් මාස්ටර් කතා කරන විට එතුමාට ඇඬුනා. රුක්මනී දේවිය ග්‍රැමපෝන් තැටියකට ගායනා කල මා ඔබේ සුදා නම් ගීතයයි අපි අද මුලින්ම ඉදිරිපත් කරන්නේ. මේ ගීතය පසු කලෙක නන්දා මාලිනිය විසින් ගායනා කළා. මේ ගීතයේ රචනය හර්බට් එම් සෙනෙවිරත්නයන්ගේ.

2. සඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේ

අපට අහිමි වූ තවත් කලාකරුවන් දෙදෙනෙක් තමයි ඔක්තෝබර් 24දා අප හැර ගිය ගායක මිල්ටන් පෙරේරාත් ඔක්. 27දා අප හැර ගිය ගායිකා මල්ලිකා පෙරේරා (මල්ලික කහවිට)ත්. මේ දෙදෙනා ගායනා කළ චිත්‍රපට යුග ගී කිහිපයක්ම තිබෙනවා. ඒ අතරින් විශේෂ ගීතයක් තමයි 1962දී තිරගත වූ "අදට වැඩිය හෙට හොඳයි" චිත්‍රපටයට මේ දෙදෙනා ගායනා කළ "සඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේ" ගීතය. මේ චිත්‍රපටය අමරදේවයන් සංගීත අධ්‍යක්ෂණය කල දෙවැනි චිත්‍රපටයයි. මේ ගීතයේ සංගීත සංයෝජනයේ එතෙක් කල් භාවිතා වුණු චිත්‍රපට ගීතවල සංගීත සංයෝජනයන්ට වඩා පැහැදිලි වෙනසක් පෙනෙන්නට තියෙනවා. මීට කලින් බොහෝ වෙලාවට පියානෝ, ක්ලැරිනට්, වගේ භාණ්ඩ වලට තමයි මුල්තැන ලැබුණේ - ඒ වගේම බොහොම සංගීත ඛණ්ඩ සියළුම වාද්‍ය භාණ්ඩ වලින් වාදනය කෙරුණා. නමුත් මේ ගීතයේ සිතාරයට තරමක් වැදගත් තැනක් දී තිබෙන බව පෙනෙනවා.

ගීතය රචනා කළේ කරුණාරත්න අබේසේකරයන්. මිල්ටන් පෙරේරාගේ අභාවයෙන් පසු මෑතකදී අමරදේවයන් එය නැවත පටිගත කළා මල්ලිකා කහවිට සමග. මිල්ටන් පෙරේරා සහ මල්ලිකා කහවිට ගැයූ එම ගීතයේ මුල් පටිගත කිරීමයි මේ.

3. වනමල් පියලි සලා

dunstan-de-silvaසංගීතඥ පී ඩන්ස්ටන් ද සිල්වා මහතාගේ ගුණ සමරුවත් පසුගිය 27දාට යෙදී තිබුණා. මට හිතෙන හැටියට එතුමා හරි හැටි අපේ ඇගයීමකට ලක් නොවුණු සංගීතඥයෙක්. එතුමා 1954 සිට 1975 දක්වා කාලයක් ගුවන් විදුලියේ සංගීත අංශය භාරව කටයුතු කළා. මේ කාලය ඇතුළත එතුමා වැඩසටහන් විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කළා. ඒ වගේම ගීත නාටක විශාල ප්‍රමාණයකත් සංගීතය නිර්මාණය කළා. එතුමා නිර්මාණය කල ගීත අතර ධර්ම දීපනී ලංකා ධරණී, ඔබට මතක නෑ මට මතකයි, පිපුණු මලේ රුව එමල දනීදෝ, කහවන් ගොයමට, හිතක හිතා ගන්නට බැරි වගේ ගීත විශේෂයෙන් සඳහන් කරන්නට පුළුවන්.

එතුමා නිෂ්පාදනය කල රසධාරා නම් වැඩසටහන තුලින් මියුරු ගීත ගණනාවක් නිර්මාණය වුනා. මේ එවන් එක ගීයක්. ගීතය රචනා කලේ සරත් විමලවීරයන්. ගායනය ඉන්ද්‍රානි වියජබණ්ඩාර (ඉන්ද්‍රානි සේනාරත්න).

4. රයිගමයාණනි ගම්පලයාණෙනි

freddie-silvajayatissa-hettiarachchi

ගායක ප්‍රෙඩී සිල්වාගේ ගුණ සමරුව යෙදී තිබුණෙත් පසුගිය සතියේ. ඒ ඔක්. 29දා. අපි කලින් වැඩසටහන් වලින් එතුමා ගැයූ ගී කිහිපයක්ම ඉදිරිපත් කළා. එතුමාගේ ගීත ශෛලිය ගැන කතා කළා. ජයතිස්ස හෙට්ටිආරච්චි සමග ගැයූ "රයිගමයාණෙනි ගම්පලයාණෙනි" නම් ගීතය එතුමා ගායනා කල ගීත අතරින් තරමක් පැරණි ගීතයක්. අපේ ජනප්‍රවාදයේ එන රයිගමයා සහ ගම්පොළයා කතා ඇසුරෙන් මේ ගීය රචනා කලේ කරුණාරත්න අබේසේකරයන්. සංගීතය නිර්මාණය කළේ මොහොමඩ් සාලි මාස්ටර්.

5. කාලයේ විසඳුම්

stanley-pierisස්ටැන්ලි පීරිස් සංගීතඥයාගේ ගුණ සමරුවත් යෙදී තිබෙන්නේ ඔක්තෝබර් මාසයේ මුලයි. එතුමා සිංහල සංගීත ක්ෂේත්‍රයට අවතීර්ණ වන්නේ ෆොචූන්ස් වාදක කණ්ඩායම තුලින්. 1970 දශකයේ ෆොචූන්ස් වාදක කණ්ඩායම ඉදිරිපත් කල ගීත අනුවාදන තැටි තුලින් එතුමා ගීත අනුවාදන කලාවේ කිසියම් වෙනසක් කළා. ඒ එතුමා අනුවාදන වලට තෝරා ගත්තේ අමරදේවයන්ගේ මින්දද හී සර වගේ බටහිර නොවන සරල ගීත නිසා. ඉන් පසු එතුමා ගීත තැටි සහ කැසට් පට විශාල ප්‍රමාණයක සංගීත අධ්‍යක්ෂණය කළා . එතුමාගේ මුල් ගීත තනු / සංගීතය බටහිර සංගීත ආරට බර නමුත් පසු කාලීනව එතුමා නිර්මාණය කළ බොහොමයක් ගීත පෙර අපර දෙදිග සම්ප්‍රදායන්ගේ මිශ්‍රණයන්. ටී එම ජයරත්නයන් ගායනා කළ සිතින් මා නොසැලී, නන්දා මාලිනිය ගායනා කළ පෙරදා මහ රෑ වගේ ගීත මේ ආකාරයේ ගීතයි.

එතුමා ගීත ගායනය කළේ බොහොම කලාතුරකින්. මේ එවන් ගීතයක්. ගීතය රචනා කලේ ප්‍රේමකීර්ති ද අල්විස්. සංගීතයත් ස්ටැන්ලි පීරිස්ගේ මයි. එතුමා සමග ගීතය ගායනා කරන්නේ නීලා වික්‍රමසිංහයි.