මියුරස වින්දන 13

මියුරස වින්දන 13

ගීත එකතුව

  1. උණුසුම යනතුරු අවසන් හුස්මේ (මොහිදීන් බෙග් / කරුණාරත්න අබේසේකර / මොහොමඩ් සාලි)
  2. හෝපලු වන පෙත (වික්ටර් රත්නායක / කේ ඩී කේ ධර්මවර්ධන / වික්ටර් රත්නායක )
  3. සීතාවනි ඔබ (වින්සන්ට් ප්‍රේමසිරි / කේ ඩී කේ ධර්මවර්ධන / වික්ටර් රත්නායක )
  4. අන්ධකාරෙන් දුරාතීතේ ( විජේරත්න වරකාගොඩ, හෙන්රි ජයසේන / හෙන්රි ජයසේන / එච් එච් බණ්ඩාර )
  5. Himero Rathe ( Suchitra Mitra / Rabindranath Tagore / Rabindranath Tagore )



1. උණුසුම යනතුරු අවසන් හුස්මේ

mohideen-baigkarunaratna-abesekaramohomed-salih

සිංහල ගීත ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් වන අල්හාජ් මොහිදීන් බෙග් හෙවත් බෙග් මාස්ටර්ගේ ගුණ සමරුව යෙදී තිබුණේ ඔක් 4 වෙනි දා. එතුමා මුස්ලිම් භක්තිකයෙක්. ඉපදුනේ ඉන්දියාවේ මදුරාසියේ සලෙම් කියන ප්‍රදේශයේ. එතුමා ලංකාවට ආවේ1931දී. එතැන් සිට 1956දී ලංකා පුරවැසි භාවය ලැබෙන තුරුම එතුමා මේ රටේ හිටියේ විදේශිකයක් හැටියට. නමුත් එතුමා ලංකාවට මහත් සේ ආදරය කල සැබෑ ලංකා පුත්‍රයෙක්. මර්සලීන් ජයකොඩි පියතුමා වරෙක කියා තිබුණා බෙග් මාස්ටර් තමන්ගේ ආගම මුස්ලිම් ආගම වුණත්, තමන්ගේ සංස්කෘතිය බෞද්ධ සංස්කෘතිය බව එතුමා සැලකුවා කියලා.

අපේ බොදු ගීත සහ දේශාභිමානී ගීත බොහොමයක් ගායනා කර ඇත්තේත් එතුමායි. යම්කිසි බෞද්ධ උත්සවයකට ශබ්ද විකාශන යන්ත්‍ර (loudspeaker) උපයෝගී කරගෙන තිබුණා නම් එතැන එතුමා ගායනා කරන "බුද්ධං සරණං ගච්චාමී" ගීතය වාදනය නොවුනානම් ඒක පුදුමයට කාරණයක්. එතුමාට සිංහල අකුරු කියවන්නට බැරි බවත්, මේ ගීත බොහොමයක් ගායනා කර තිබෙන්නේ සිංහල වචන ඉංග්‍රීසියෙන් ලියාගෙන බවත් මම අහලා තියෙනවා. නමුත් ඒ ගීතවල අර්ථය තේරුම් අරගෙන ඒ අර්ථයට ගැලපෙන පරිදි තම හඬ මෙහෙයවන්නට එතුමාට හැකියාව තිබුණා. අපි අද ඉදිරිපත් කරන්නේ එතුමා ගැයූ නිතර නෑසෙන දේශාභිමානී ගීතයක්.

උණුසුම යනතුරු අවසන් හුස්මේ
බෙදමින් දාරක ප්‍රේමයෙ මහිමේ
ඉපදුණු දරුවෙකු විලසට මෙ බිමේ
මා සුරකිනු මැන සිරිලක් අම්මේ

ගීතය රචනා කර ඇත්තේ කරුණාරත්න අබේසේකරයන්. ලංකාවේ නොඉපදුනු මොහිදීන් බෙග් වැනි ගායකයෙක් තමන් මෙහි ඉපදුනු දරුවෙකු ලෙස සලකන ලෙසට ලක් මව ගෙන් අයැදිම මොන තරම් අනුවේදනීයද. මේ ගීතයේ සංගීතය නිර්මාණය කළේ මොහොමඩ් සාලි.

මේ යුගයේ කලාකරුවන් කිසිවෙක් තම කලා නිර්මාණ තුලින් මහත් ධන සම්පත් රැස් කළ අය නොවෙයි. යම් කෙනෙක් පොහොසත් වුණා නම් ඒ ඔවුන්ගේ නිර්මාණ වෙළඳ පොලට එකතු කළ ගී තැටි සහ කැසට් නිශ්පාදකයින් පමණයි. මිය යන විට ඒ කලාකරුවන් බොහොමයක් දරිද්‍රතාවයෙන් පෙළෙමිනුයි හිටියේ. තමන් සතු වූ එකම පොහොසත්කම, එනම් තමන්ගේ කලා නිර්මාණ, ලක් මවට දායාද කරමින් සහ සිය සිරුර ලක් මවට පොහොර කරමින් තමයි එතුමන්ලා මිය ගියේ.

මම මගෙ පොහොසත්කම ඔබට දෙමි
දවසක මේ පොලොවට පොහොර වෙමි

2. හෝපලු වනපෙත

kdkප්‍රවීණ ගීත රචක සහ නිවේදක කේ ඩී කේ ධර්මවර්ධනයන්ගේ ගුණ සමරුවත් පසුගිය 6දාට යෙදී තිබුණා. එතුමා ඉපදුනේ මහනුවරයි. අධ්‍යාපනය ලැබුවේ ධර්මරාජ විද්‍යාලයේ. එතුමා උපාධිය ලබාගත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන්. සිංහල භාෂාව පිලිබඳ එතුමාගේ ලොකු ඇල්මක් තිබුණා. පැරණි සාහිත්‍යය මැනවින් හදාරපු නිවේදකයෙක් සහ 70 දශකයේ අලුත් නිර්මාණ වලින් සිංහල ගීත සාහිත්‍යය පුබුදු කරන්නට සමත්වුණු ගීත රචකයෙක් හැටියට අපට කේ ඩී කේ ධර්මවර්ධනයන් හඳුන්වන්නට පුළුවන්.

එතුමා වික්ටර් රත්නායකයන්ගේ ස ප්‍රසංගය ආරම්භයේ සිටම එය සාර්ථක කරගන්නට ප්‍රබල දායකත්වයක් දුන් කෙනෙක්. ස ප්‍රසංගයේ මුල් දර්ශන සියයක පමණ, සරල ශාස්ත්‍රීය ගීතයක් වන සොඳුරිය ඔබගේ උවන මලක් නම් ගීතය අතුලත් වුණා. sa-coverඒ ගීතය ගයන විට ප්‍රේක්ෂකයින් දැඩි නිහඬතාවයකින් ඒ ගීතය රස වින්ද බව කියවෙනවා. නමුත් කිසියම් හේතුවක් නිසා වික්ටර රත්නායකයන් කණගාටුවෙන් වුවත් තීරණය කළා ඒ ගීතය නැවත නොගයන්නට. වික්ටරුන් ඒ ගැන කණස්සල්ලෙන් සිටින විට, ඒ අඩුව පුරවාලන්නට කේ ඩී කේ ධර්මවර්ධනයන් රචනා කළ ගීතය තමයි හෝපලු වනපෙත නම් ගීතය. ගීත ගොවින්දයේ එන සිදුවීමක් ඇසුරෙන් තමයි මේ ගීතය නිර්මාණය වන්නේ. පැරණි සාහිත්‍යය කෙරේ එතුමාගේ තිබූ උනන්දුව මේ ගීතයෙන් පැහැදිලි වෙනවා. ධර්මවර්ධනයන් පැරණි සාහිත්‍යයෙන් උපුටා ගත් වදන් සරල සුගම ලෙස යොදා ගනිමින් ගීතයේ අර්ථය කුළු ගන්වනවා.මේ ගීතයට සංගීතය යෙදුවේත් වික්ටර් රත්නායකයන් මයි.

3. සීතාවනි ඔබ හැඩරුව ඇති බව

abduction-of-sita-by-ravanaධර්මවර්ධනයන්ගේ ගීත රචනා වල ලොකු පරාසයක් තිබුණා. ඉන් සමහර ගීත වල එතුමා ලබා ගත් සාහිත්‍ය දැනුම භාවිතා කරමින් ගීතය විචිත්‍ර කර තිබුනා. ඒ වගේම සරල ප්‍රේම ගීතත් එතුමා රචනය කර තිබෙනවා.

1970 දශකයේදී ගීත රචකයින් අපේ සාහිත්‍යයේ එන විවිධ කතා සහ චරිත වලට නව අර්ථකථන දෙමින් ගීත ලියන්නට පෙළැඹුනා. කේ ඩී කේ ධර්මවර්ධනයන් එලෙස රාමා සීතා කතා පුවතට නව අර්ථකථනයක් දෙමින් ලියූ ගීතයක් තමයි වින්සන්ට් ප්‍රේමසිරි විසින් ගායනා කරන සීතාවනි ඔබ හැඩරුව ඇති බව නම් ගීතය. මේ ගීතය සංගීතවත් කළේ වික්ටර් රත්නායකයන්.

4. අන්ධකාරෙන් දුරාතීතේ

henry-jayasenaප්‍රවීණ නාට්‍ය රචකයෙකු, නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු, නළුවෙකු, ගීත රචකයෙකු, නවකතාකරුවෙකු, චිත්‍රපට තිර රචකයෙකු, විචාරකයෙකු වූ හෙන්රි ජයසේනයන් ගේ ගුණ සමරුව යෙදී තිබුණේ පසුගිය 11 දා. හෙන්රි ජයසේනයන් සිංහල නාට්‍ය ක්ෂේත්‍රයට කළ මෙහෙවර මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් සිදු කළ අනුපමේය සේවයට නොදෙවෙනියි. එතුමා සරච්චන්ද්‍රයන්ගේ මනමේ සහ සිංහබාහු නාට්‍ය දෙකේම රඟපාලා තියෙනවා.

සරච්චන්ද්‍රයන් ගේ මනමේ සහ සිංහබාහු ශෛලිගත නාටකවල සාර්ථකත්වයට පසුව අපේ රටේ නාට්‍යකරුව්න් බොහොමයක් ශෛලිගත සම්ප්‍රදායටම නාට්‍ය නිර්මාණය කරන්නට පෙළඹුනා. නමුත් හෙන්රි ජයසේනයන් නිෂ්පාදනය කල නාට්‍යවලට ශෛලිගත සම්ප්‍රදාය සම්පුර්ණයෙන්ම යොදාගත්තේ නෑ - ශෛලිගත සහ තාත්වික සම්ප්‍රදායන්ගේ සංකලනයන් ලෙස තමයි අපට ඒ නාට්‍ය විග්‍රහ කරන්නට වෙන්නේ.

1963 වසරේ දී හෙන්රි ජයසේනයන් විසින් රචනා කොට නිෂ්පාදනය කරන ලද කුවේණි නාට්‍යය ඓතිහාසික කතා පුවතක්, වර්තමානය හා සසඳමින් ශෛලිගත සහ තාත්වික රංග සම්ප්‍රදායන් සංකලනය කරමින් නිර්මාණය වුණ නාට්‍යයක්. මේ නාට්‍යය එම වසරේ ජාතික නාට්‍ය උලෙළේ දී වසරේ හොඳම රචනය, හොඳම නිෂ්පාදනය, හොඳම නිළිය, හොඳම සංගීතය යන සම්මාන දිනා ගත්තා. මේ නාට්‍යයේ එන "අන්ධකාරෙන් දුරාතීතේ" නම් ගීතයයි මේ. මේ ගීතයේ අවසාන පද කිහිපය මේ ගීතයේ අවසාන පද කිහිපය අපේ සමාජය විසින් ගැහැණිය පෙළන ආකාරය ගැන ඉතා සංවේදී ලෙස ප්‍රකාශ ඇතකරනවා. කුවේණි නාට්‍යයෙන් අපට දෙන පණිවිඩයත් එයයි.

සදාකාලෙම ලොව පහළ වූ - සදාකාලෙම ලොව පහළ වන
කුවේණියමයි එකම ගැහැණිය - එදා උපනත් අද උපන්නත්
ඇයයි දුක් පීඩා විඳින්නේ - ඇයයි වද හිංසා දරන්නේ
ඇයයි අවමානය ලබන්නේ - ඇයයි යකිනිය නම් ලබන්නේ

ගීතය රචනා කළේ හෙන්රි ජයසේනයන්මයි. සංගීත නිර්මාණය සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු නාටකයට "ගල් ලෙන බිඳලා" ඇතුළු තවත් විශිෂ්ට ගීත කිහිපයක්ම නිර්මාණය කල එච් එච් බණ්ඩාරයන් ගෙන්. ගායනය විජේරත්න වරකාගොඩ සමග හෙන්රි ජයසේනයන්.

5. Himero Rathe

rabindranath-tagoresuchitra-mitra-bw

ලොව පුරා හින්දු භක්තිකයන්ගේ විශේෂ උත්සවයක් වන දීපවාලී හෙවත් දීවාලී උත්සවය පසුගිය 10දාට යෙදී තිබුණා. මේ දීපවාලී උත්සවය පැවැත්වෙන්නේ ඉන්දීය ඍතු 6 න් එකක් වන හේමන්තයේදී. හේමන්ත ඍතුව එන්නේ ග්‍රීෂ්ම සහ ශීත කියන ඍතු දෙක අතරයි. මහා කවි රවින්ද්‍රනාත් තාගෝරයන් හේමන්ත ඍතුව සහ දීපවාලී උත්සවය ගැන වංග බසින් ලියා සංගීතවත් කල ගීයක් තමයි අපේ මීළඟ ගීතය. රවින්ද්‍රනාත් තාගෝරයන් මේ ලෙස නිර්මාණය කල ගීත රවීන්ද්‍ර සංගීත් හැටියට හඳුන්වනවා. ගීතය ගායනා කරන්නේ බෙන්ගාලි ගායිකා සුචිත්‍ර මිත්‍ර යි. මේ ගීතය අහනවිට ඔබට තේරෙයි බෙංගාලි බස අපේ සිංහල බසට තරමක් සමාන බව. ගීතයේ අර්ථය දළ වශයෙන් මෙසේයි.

මේ සීතල රාත්‍රියේ, හේමන්තිකා තම ගවුමේ වාටියෙන් අහසේ එළි වසාගෙන, ඔබට දීපවාලී පහන් දල්වන්නට ආරාධනා කරනවා උයනේ මල් වැහැරී ගොසින්, ගස් මුදුන් වල කෝකිල කූජනය නැවතීලා, නදී තෙර සුදු බට පඳුරේ කොල හැලෙමින් පවතීනවා ඒ සියලු අඩු පුරවාලන්නට අපි පහන් දල්වා ලොව එලිය කරමු.

මේ ගීතය අපි උපුටාගත්තේ ගුවන් විදුලියේ ප්‍රවීණයෙකු වූ එච් එම් ගුණසේකරයන් දීර්ඝ කාලයක් තිස්සේ ඉදිරිපත් කල ඉරිදා සංග්‍රහය වැඩ සටහනකින්. එතුමා ගීතය ගැන කරන හැඳින්වීමත් සමගයි අපි ගීතය ඉදිරිපත් කරන්නේ.