මියුරස වින්දන 8

මියුරස වින්දන 8

ගීත එකතුව

  1. සැන්දෑ අහසේ ඉරට මුවාවෙන් (දයාරත්න රණතුංග / සුනිල් සරත් පෙරේරා / දයාරත්න රණතුංග)
  2. මධු සාදය (රූපා ඉන්දුමතී / හේමසිරි ගුණතුංග / මර්වින් ප්‍රියන්ත)
  3. වරෙන් හීන් සැරේ (අයිවෝ ඩෙනිස් / සුනිල් සාන්ත* / සුනිල් සාන්ත)
  4. ළිහිණි කෝකිලා (සුසිල් ප්‍රේමරත්න, මල්ලිකා පෙරේරා / සුසිල් ප්‍රේමරත්න* / පැට්‍රික් දෙනිපිටිය)
  5. මතකයි අම්මේ ඔබෙ දරු නැලවිල්ල (වොලී බැස්ටියන්)

1. සැන්දෑ අහසේ ඉරට මුවාවෙන්

සැන්දෑ අහසේ - (Photo courtesy of Paba Pabasara)ගීත රස වින්දනාත්මක වැඩසටහනක් ලෙස කරන මේ වැඩසටහනට නමක් හොයන වෙලාවෙදි මට මුලින්ම සිහියට ආවේ “මියුරස වින්දන“ කියන නම. මේ නම අලුත් නමක් නෙමෙයි - එය දයාරත්න රණතුංගයන් 1960 දශකයේ ගුවන් විදුලියේ ඇරඹූ වැඩ සටහනක නමක්. මේ වැඩ සටහනේ අරමුණ වුනේ ආධුනික ගීත රචකයන්ට අත දීම. මේ වැඩ සටහන නිසා බිහි වූ එකල නවකයන් වන සුනිල් සරත් පෙරේරා, අජන්තා රණසිංහ, කුලරත්න ආරියවංශ, සමන් චන්ද්‍රනාත් වීරසිංහ, සිරි සමන් විජේතුංග වගේ අය පසු කලෙක ගීත රචනා කලාවේ දැවැන්තයින් බවට පත් වුනා. මේ වැඩ සටහනින් බිහිවූ එක් ගීතයක් තමයි “සැන්දෑ අහසේ ඉරට මුවාවෙන්“ කියන ගීතය. එය සුනිල් සරත් පෙරේරා මහත්මයා දයාරත්න රණතුංගයන් වෙනුවෙන් ලියූ මුල්ම ගීතය. ජීවිතයේ සැඳෑ සමයට ළං වූ පුද්ගලයෙක් හුදකලාවේ සැන්දෑ අහස දෙස බලමින් සිය අතීතයේ මල් පල නොගැන්වුනු ප්‍රේමය පිළිබඳ ආවර්ජනයෙක යෙදෙන හැටියි මේ ගීතයෙන් කියැවෙන්නේ. සරල ශාස්ත්‍රීය ගීතයක් ලෙස මෙහි සංගීතය නිර්මාණය කිරීමේදී දයාරත්න රණතුංගයන් සැඳෑ කාලයට උචිත රාගයක් වන යමන් කල්යාන් රාගය උපයෝගී කරගෙන තියෙනවා. මේ රාගය බොහොම මිහිරි රාගයක් - ඒ ඇසුරෙන් නිර්මාණය වූ තවත් ගීත කිහිපයක් තමයි හරූන් ලන්ත්‍රා ගායනා කරන “පිපාසයෙන් පිරි පොලෝ තලේ“, ගුණදාස කපුගේ ගායනා කරන “ඔබ පෙම් කරනා ඔබේ කුමාරී, සුනිල් එදිරිසිංහ ගායනා කරන “හදේ කොතැනක“ ගීත. Sarod සැන්දෑ අහසේ ගීතයේ මුල් පටිගත කිරීමේදි ආරම්භක ශාස්ත්‍රීය වාද්‍ය ඛණ්ඩය සඳහා භාවිතා කර තියෙනවා සරෝද් කියන වාද්‍ය භාණ්ඩය. මේ භාණ්ඩය සිතාරයට තරමක් සමාන තත් භාණ්ඩයක් නමුත් ප්‍රමාණයෙන් ඊට වඩා තරමක් පොඩියි - හඬත් සිතාරයේ හඬට තරමක් සමානයි. 1990 දශකයේදී මේ ගීතය නැවත පටිගත කිරීමේදී මේ සරෝද් වාදනය වෙනුවට බටනලා වාදනයක් ඇතුලත් වුනේ දක්ෂ සරෝද් වාදකයෙක් මේ කාලයේ නැති නිසා වන්නට ඇති.

2. මධු සාදය

සැන්දෑ අහසේ ගීතයේ භාවිතා වුන සරෝදය අපේ ගීතවලට බහුලව යොදාගත් භාණ්ඩයක් නොවෙයි. මේ වගේම තවත් බහුලව භාවිතා නොවූ භාණ්ඩයක් තමයි මවුත් ඕගන් හෙවත් හර්මොනිකා කියන වාද්‍ය භාණ්ඩය. ඒ වගේම මවුත් ඕගන් වාදක ශිල්පීනුත් ඉතාම විරලයි. බොහෝ වෙලාවට චිත්‍රපටවල විනෝද චාරිකා දර්ශණවල ගැයෙන ගීත වලට මේ මවුත් ඕගනය භාවිතා වුනා. මවුත් ඕගනය ගැන කතා කරන විට අපට නිතැතින්ම සිහියට එන නමක් තමයි මර්වින් ප්‍රියන්තයන්. එතුමාගේ වාදන කුසලතාවයෙන් ඔපවත්වූ ගීත අතර වික්ටර් රත්නායකයන් ගායනා කරන කළණ මිතුරු දහමයි ගීතය විශේෂයෙන් සඳහන් කරන්නට පුලුවන්. වාදනයට අමතරව එතුමා චිත්‍රපට කිහිපයක සංගීත අධ්‍යක්ෂණයත් කලා. ඒ වගේම 1970 දශකයේදී හින්දි ගායක මොහොමඩ් රාෆි ලංකාවට පැමිණ කල සංගීත ප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂණය කලේත් එතුමා. අපි මීලඟට අහන්නට යන්නේ එතුමා සංගීතය නිර්මාණය කල, ඒ වගේම අති දක්ශ ලෙස මවුත් ඕගනය වාදනය කරන, ඉතාම මිහිරි, නිතර නෑසෙන ගීතයක්. මේ ගීතයේ පද රචනය කලේ හේමසිරි ගුණතුංගයන්. ගායනය රූපා ඉන්දුමතී මහත්මිය.

3. වරෙන් හීන් සැරේ රිදී වලාවේ

පසුගිය අප්‍රේල් මාසයේ සිළුමිණ පුවත් පතේ පල වුණු ලිපියක මේ කතාව කියා තිබුණේ අයිවෝ ඩෙනිසුන්. සුනිල් සාන්තයන් බම්බලපිටියේ එතුමාගේ නවාතැන් කාමරයේ සිටිද්දි එතුමාගේ “වරෙන් හීන් සැරේ රිදී වලාවේ" ගීතය ගුවන් විදුලියෙන් වාදනය වෙලා තියෙනවා - ආධුනික පැය කියන වැඩ සටහනින්. ගායකයාගේ කට හඬ තම කටහඬට බොහොම සමාන නමුත් ගීතයේ සමහර තැන්වල පුංචි වරද කිහිපයක් නිසා එතුමාට තේරිලා තියෙනවා ඒ එතුමාගෙ ගායනයක් නොවෙයි කියලා. තමාගෙ සංගීත පන්තියෙදි සුනිල් සාන්තයන් මේ කතාව කියලා, ඒ ගීතය කියාපු කෙනා ගැන දැනගන්න සතුටුයි කියලා පන්තියේ හිටි සිසුන්ට කිව්වා. ඒ පන්තියේ හිටියා පැට්‍රික් දෙනිපිටිය – එතුමා පොරොන්දු වුණා ආධුනික පැය වැඩසටහනට ගීතය ගැයූ අයිවෝ ඩෙනිසුන් සුනිල් සාන්තයන් හමුවීමට කැඳවාගෙන එන්නට. සුනිල් සාන්තයන්ගේ ගී ආර අදත් ඉදිරියට ගෙන යමින්, එය සජීවී අයුරින් පවත්වාගෙන සුනිල් සාන්තයන්ගේ ප්‍රධාන ගෝලයා වූ අයිවෝ ඩෙනිස් සුනිල් සාන්තයන් මුල් වරට හමු වුනේ එහෙමයි. ඒ 1952 ජූනි මාසයේ. තමාට විශේෂ ගීතයක් වූ මේ ගීතය අයිවෝ ඩෙනිසුන් 1980 දශකයේ රූපවාහිනියේ සංඛ පද්ම වැඩසටහනකටත් නැවත ගායනා කලා.මේ ඒ ගායනයයි. ගීතයේ රචනය සහ සංගීත නිර්මාණය සුනිල් සාන්තයන්ගේ.

4. ළිහිණි කෝකිලා

Patrick_Denipitiya_with_his_Hawaian_Guitarමවුත් ඕගනය ගැන කතා කරන විට මර්වින් ප්‍රියන්තයන් සිහියට එනවා වගේම, හවායන් ගිටාරය (Hawaian Steel Guitar) කියන වාද්‍ය භාණ්ඩය ගැන කතා කලොත් අපට නිතැතින්ම මතක් වන්නේ පැට්‍රික් දෙනිපිටියයි. පැට්‍රික් දෙනිපිටිය මහතා තමයි මේ වාද්‍ය භාණ්ඩය මේ රටේ ජනප්‍රිය කරන්නට පුරෝගාමී වුණේ. හවායන් ගිටාරය වෙනත් ගිටාර වලට වඩා වෙනස් වෙන්නේ එය වාදනය කරන ආකාරයෙන්. එය වාදනය කරන්නේ ආකාරය වයලීනය වාදනය ආකාරයට තරමක් සමානවයි - සාමාන්‍යයෙන් ගිටාරය වැයීමේදී අවශ්‍ය ස්වරය තෝරා ගැනීමට භාවිතා කරන ඇඟිලි වෙනුවට ලෝහ කැබැල්ලක් තත් මත එහා මෙහා කිරීමෙන්. මේ වාදන ක්‍රමය නිසා වයලීනයෙන් වගේම වාදනය වන ස්වරය එක් ස්වරයකින් තවත් ස්වරයකට ටිකෙන් ටික වෙනස් කරන්නට පුලුවන්. lihini-kokilaaපැට්‍රික් දෙනිපිටිය වාදකයෙක් පමණක් නෙමෙයි දක්ෂ සංගීත නිර්මාපකයෙක් සහ සංගීත අධ්‍යක්ෂක වරයෙක්. 1960 සහ 70 දශකවල නිර්මාණය වුනු බොහොමයක් ජනප්‍රිය ගීතවල සංගීත නිර්මාණය සහ සංගීත අධ්‍යක්ෂණය කලෙත් එතුමා - විශේෂයෙන්ම සී.ටී. ප්‍රනාන්දු, සුසිල් ප්‍රේමරත්න, මොරිස් දහනායක, ක්‍රිස්ටෝපර් පෝල්, මිල්ටන් මල්ලවාරච්චි වගේ අය ගායනා කල ගීත. එතුමා චිත්‍රපට බොහොමයකත් සංගීත අධ්‍යක්ෂණය කලා. ගුවන් විදුලියේ සරල ගී වැඩසටහනකට සුසිල් ප්‍රේමරත්නයන් සහ මල්ලිකා පෙරේරා (පසු කලෙක මල්ලිකා කහවිට) මහත්මිය ගැයූ, පැට්‍රික් දෙනිපිටිය සංගීත නිර්මාණය කර හවායන් ගිටාර් වාදනයෙන් ඔපවත් කල ලිහිණි කෝකිලා නම් ගීතය අපි දැන් අහමු. ගීතය රචනය කලේ සුසිල් ප්‍රේමරත්නයන්ම වන්නට පුලුවන්.

5. මතකයි අම්මේ ඔබෙ දරු නැලවිල්ල

wally-bastianszඅපේ සිංහල සංගීතයට බයිලා ගීත එකතු වෙන්නේ පෘතුගීසි ආක්‍රමණයෙන් පසුවයි. මහැදුරු සුනිල් ආරියරත්නයන් ඔහුගේ "බයිලා කපිරිඤ්ඤා විමර්ශනයක්" කෘතියේ කියන පරිදි ඒ කාලයේ බයිලා සැලකුණේ සංකරකමේ සහ පරගැති බවේ දීන සංකේතයක් ලෙසයි. බයිලා ගායකයා සැලකුණේ සංගීත ලෝකයේ අවම තලයේ ඉන්න කෙනෙක් හැටියට. බයිලා ගැයීම හෝ නැටීම බුද්ධිමත් සමාජයට නොගැලපෙන දෙයක් හැටියටයි සැලකුණේ.මේ වගේ අදහස් අද වුනත් අපේ සමාජයෙන් සම්පුර්ණයෙන්ම ඉවත් වෙලා නෑ. අපේ රටේ බයිලා ගායකයන් අතර විශේෂ තැනක් ගන්න කෙනෙක් තමයි ඔලින්ටන් මර්වින් බැස්ටියන් හෙවත් වොලී බැස්ටියන් මහත්මයා. අපේ බයිලා ගීත වල ආකෘතියේ වෙනසක් කල "කෝරස් බයිලා" කියන බයිලා විශේෂය ජනප්‍රිය කරන්නට පුරෝගාමී වුනේ එතුමා. බටහිර ගීත ආකෘතියේ ගීතයක කෝරස් එක (Chorus) කියල කියන්නේ එකම තනුවකට නැවත නැවත ගැයෙන කොටසටයි. සිංහලෙන් අපි ගීයක ස්ථායී කොටස කියල කියනවා මේකට. බොහෝ වෙලාවට මේ ගීත වල කෝරස් කොටස ගායනා කලේ ගයක ගායිකා සමුහයක් - හෙවත් කෝරස් එකක්. නෝනා මගේ නර්ස් නෝනා, රටක් වටිනවා මගේ මවුපියෝ දෙන්නා, අඹු දරු රක ගන්න අපට මාළු ලබා දෙන්න දෙවියනේ, රාලහාමි මං පොලිසියෙ රාලහාමි මං, අයිරින් ජොසපින් රොසලින් ඇන්ජලින් වගේ වොලී බැස්ටියන් ගායනා කල බයිලා එදත් අදත් ඉතාම ජනප්‍රියයි. 1950 දශකයේ පමණ ගැයුණු මේ ගීත වල මුල් තැටි නිසි පරිදි සංරක්ෂණය වී නෑ. මේ ගීත වර්තමානයේ අපට නිතර ඇහෙන්නේ පසු පරපුරේ බයිලා ගායකයින් විසින් කල නැවත ගායනා කිරීම් ලෙසයි. අපි දැන් අහමු එතුමා ගායනා කල මතකයි අම්මේ ඔබෙ දරු නැලවිල්ල කියන ගීතයේ මුල් පටිගත කිරීම. මේ ගීතය කෝරස් බයිලා ගීතයකට දෙන්න පුලුවන් හොඳම නිදසුනක්.