මියුරස වින්දන 4

මියුරස වින්දන 4

ගීත එකතුව

  1. නටපන් නයි හාමී (සිසිර සේනාරත්න / සිරිල් ඒ සීලවිමල / සිසිර සේනාරත්න)
  2. Regen Volt (Muzsikas)
  3. යළිත් හමු නොවේවා (නීලා වික්‍රමසිංහ / කුලරත්න ආරියවංශ / රෝහණ වීරසිංහ)
  4. පර සක්වල (එඩ්වඩ් ජයකොඩි, ජය ශ්‍රී චන්ද්‍රජිත් / පරාක්‍රම නිරිඇල්ල / සැම්සන් සිල්වා)

1. නටපන් නයි හාමී

sisindra

පසුගිය පෙබරවාරි මාසයේ අප අතරින් වියෝ වුණ සිසිර සේනාරත්නයන් වෘත්තියෙන් සංගීතඥයෙක් නොවුනාට රජයේ සංගීත විද්‍යාලයේ සංගීතය හදාරලා තියෙනවා. එතුමා ගීත විශාල සංඛ්‍යාවක් නිර්මාණය කර සහ ගායනා කර තියෙනවා. චිත්‍රපට 10ක පමණ සංගීත අධ්‍යක්ෂණයත් කර තියෙනවා. 1965 දී හඳපාන චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් එතුමාට සරසවි සම්මානය පිරිනැමුණා.

සිංහල සිනමාවේ ආරම්භක යුගය පහුකරලා යථාර්ථවාදී සිනමා යුගයට එනවිට අපට හිටපු චිත්‍රපට පසුබිම් ගායකයන් අතර පෙරමුණේ සිටි කෙනෙක් තමයි සිසිර සේනාරත්නයන්. 1956 දී රේඛාව චිත්‍රපටයට එතුමා ගැයූ ඕලු නෙලුම් නෙරිය රඟාලා ගීතය එදා සිට අද වෙන තෙක්ම අතිශයින් ජනප්‍රියයි. එතුමා ගායනා කල ගීත සංඛ්‍යාව වෙනත් ගායකයින් ගැයූ සංඛ්‍යාවත් සමග සසඳන විට තරමක් අඩු වුණත්, එතුමා ගැයූ හැම ගීතයක්ම එදා වගේම අපේ රසිකයින් අතර ජනප්‍රියයි. මේ ජනප්‍රියත්වයට ප්‍රධාන හේතුව එතුමා ගැයූ ගීත වල පදමාලාව, ගීතයේ අර්ථය වගේම සංගීතයත් බොහොම සරළ වීමයි. එතුමාගේ බොහොම ගීතවල සංගීතයත් එතුමාගේමයි.

සිසින්ද්‍රා නම් වූ එතුමාගේ ගී තැටියක අඩංගු "නටපන් නයි හාමී" ගීතයත් ඒ වගේ බොහොම සරල බසින් සිරිල් ඒ. සීලවිමලයන් ලියූ ගීතයක්. මෙය නයි නටවන්නෙක් නයා නටවමින් කියන ගීතයක්. සරල බවින් ලියැවුනත්, ගීතයෙන් ගැඹුරු සත්‍යයකුත් කියවෙනවා.

යන්න ගියත් යන්න දෙන්න බෑ
දරු පවුලක් නුඹෙන් රැකෙනවා

මේ ගීතයට සංගීතය යෙදීමේදි, නයි නටවන අහිගුණ්ඨික ජනතාව නයි නැටවීමේදී භාවිතා කරන නළාවෙන් එන නාද රටාව මේ ගීතයට ගැබ් කර ගෙන ඇති බව පෙනෙනවා. නයි නටවන නළාවේ ගීතයකට යොදා ගන්නට තරම් ස්වර පරාසයක් නැති නමුත්, මේ ගීතයේ වාදනය කරන වයලීනය ඒ නළාවේ හඬට සමාන හඬක් එන ලෙස වාදනය කරනවා.

සිසින්ද්‍රා යනු සිසිර සහ ඉන්ද්‍රාණි දෙදෙනාගේ නම් එකතු කර සාදා ගත් නමක්. ඔවුන්ගේ සංගීත ප්‍රසංගයේත් නම වුණේ සිසින්ද්‍රා යි.

2. Regen Volt - Muzsikas

muzsikas

අපේ රටේ නයි නටවමින් තැනින් තැන යන අහිගුණ්ඨිකයන් වගේ යුරොපයේ සමහර රටවල ඉන්නවා තැනින් තැන යමින් ගීත ගයනා කරන ජන කොට්ඨාසයක් - ඔවුන්ට කියන්නේ ජිප්සි වරුන් ( Gypsies) කියලයි. හන්ගේරියාවේ සිටින එවැනි සංගීත කණ්ඩායමක් වූ මියුසිකාස් (Muzsikas) කළ නිර්මාණයන් ඒ රටේ පමණක් නොවෙයි ලෝකයේ අනෙක් රටවලත් ජනප්‍රිය වුණා. ඔවුන් පසු කලෙක විදේශ සංචාර වල පවා යෙදුනා ඒ ජනප්‍රියත්වය නිසා.

මේ ගීතයේ භාවිතා වෙනවා බෑග් පයිප් (Bagpipe) සහ සිදර් (Zither) කියන සංගීත භාණ්ඩ දෙක. බෑග් පයිප් භාණ්ඩයන් නිකුත් වෙන්නේ අපේ හොරණෑවකට නැත්නම් නයි නටවන නලාවකට කිට්ටු හඬක්. සිදර් භාණ්ඩය මැන්ඩලින් (English Mandolin) භාණ්ඩයට තරමක් සමානයි. මේ ගීතයේ ගිටාරයක හඬ වගේ ඇහෙන්නේ ඒ භාණ්ඩයේ හඬයි.

3. යළිත් හමු නොවේවා

neelaa-tharangaa-cassette1970 දශකයේ අග භාගයේදී ගෙත ප්‍රකාශණ මාධ්‍යයක් හැටියට කැසට් පටය මේ රටට හඳුන්වා දෙනු ලැබුවා. ඊට කලින් තිබුණු මාධ්‍යය වන ගී තැටි පරිහරණය කලේ සමාජයේ සීමිත කොටසක්. නමුත් කැසට් පට සමාජයේ සෑම තරාතිරමකම අය අතර ජනප්‍රිය වුණ මාධ්‍යයක් වුණා.

ලංකාවේ බිහිවුණ කැසට් පට අතුරින් මුල්ම කැසට් පට කිහිපය අතරෙන් දෙකක් තමයි 1978 දී විජය රාමනායකයන්ගේ තරංගා ලේබලයෙන් නිකුත් කළ ටී එම් ජයරත්න සහ නීලා වික්‍රමසිංහ දෙදෙනාගේ කැසට් පට. මේ දෙදෙනාම මීට කලින් ගුවන් විදුලියේ ජන ගී සහ චිත්‍රපට ගී සීමිත ගණනක් පමණයි ගායනා කර තිබුණේ. ඒ නිසා මේ කැසට් පට දෙක ඒ කාලයේ සිංහල ගීත ක්ෂේත්‍රයේ විශාල පෙරළියක් කරන්නට සමත් වුණා. ඒ පෙරළියේ කොටසක් තමයි අළුත් ගායක ගායිකාවන් පරපුරක්, ගීත රචකයින් පරපුරක් සංගීත නිර්මාණකරුවන් පරපුරක් විශාල වශයෙන් ගීත නිර්මාණ කාර්යයට අවතීර්ණ වීම. කුලරත්න ආරියවංශ, රෝහණ වීරසිංහ, එච් එම් ජයවර්ධන වගේ කලා කරුවන් මේ පෙරළියේ කොටස් කරුවන් සහහැටියට හඳුන්වන්නට පුළුවන්.

තරංගා ලේබලයෙන් නිකුත් වූ නීලා වික්‍රමසිංහගේ මුල්ම කැසට් පටයේ අඩංගු යළිත් හමුනොවේවා ගීතයයි මේ. මේ ගීතය රචනා කර ඇත්තේ කුලරත්න ආරියවංශයන්. සංගීතවත් කර ඇත්තේ රෝහණ වීරසිංහයන්.

4. පර සක්වල

stage-hits1980 දශකයේ ඇති වුණු කැසට් රැල්ලෙන් බිහි වුණු තවත් කැසට් පටයක් තමයි ජනප්‍රිය නාට්‍ය ගීත නමින් වේදිකා රංග ශිල්පියෙක් වූ සම්පත් තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කළ ගීත එකතුව. මේ කැසට් පටයට ඇතුලත් වෙලා තිබුණේ නාට්‍ය ගීත පමණයි. විවිධ නාට්‍ය වල එන ගීත 13ක් මේ කැසට් පටයට අඩංගු වුනා. එයින් එක ගීතයක් තමයි පරාක්‍රම නිරිඇල්ල රචනා කර නිෂ්පාදනය කල සෙක්කුව නාට්‍යයේ එන රාලේ බැඳපන් අපෙ පැඟිරා නම් ගීතය.

සෙක්කුව නාට්‍යය නිර්මාණය වුනේ 1970 දශකයේ මැද භාගයේදී. ඒ යුගයේදී මේ නාට්‍යය රාජ්‍ය සම්මානය පවා දිනාගත්තා. මෙ කථා තේමාව වුණේ සාම්ප්‍රදායික තෙල් හිඳින සෙක්කුවයි. සෙක්කුව බලා ගන්නා රාල සහ ගවයින් දෙදෙනෙක්, පැඟිරා සහ පුස්සා, මේ නාට්‍යයේ හිටියා. මෙයින් පවතින සමාජ සහ දේශපාලන ක්‍රමය ගැන උපහාසාත්මක විග්‍රහයක් කෙරුණා. සෙක්කුව එකම තැනමයි කැරකෙන්නේ - අප කලින් කලට සෙක්කුවේ මාරු කර බඳින්නේ එකම ගවයින් දෙදෙනා පමණයි කියන අදහසයි මේ නාට්‍යයේ අන්තර්ගත වුණේ.

මේ වගේ දේශපාලන තේමාවක් ඇති නාට්‍යයකට රාජ්‍ය සම්මාන උළෙලකින් සම්මානයක් ලැබුණා කියන එක හොඳම නිදසුනක් ඒ කාලයේ තිබුණු සම්මාන ක්‍රියාවලියෙහි තිබුණු ස්වාධීනත්වය ගැන. 70 දශකය තුළ තරුණයින්ට නිදහසේ විරෝධාකල්ප නිර්මාණ වුනත් ඉදිරිපත් කරන්නට පුළුවන් වටපිටාවක් අපේ රටේ හැදිලා තිබුණා. 71 කැරැල්ලෙන් පසු අපේ රටේ තරුණයන්ට තමන්ගේ භාව ප්‍රකාශණය කරන්නට තිබුණු හොඳම මාවත තමයි කලා ක්ෂේත්‍රය තුලින් එය කිරීම. මේ කාලයේ චිත්‍රපට, නාට්‍ය, ගීත වගේ විවිධ නිර්මාණ කෙරුණා රටේ තිබෙන දේශපාලන තත්වය පිළිබඳව, තරුණ ප්‍රශ්ණ පිළිබඳව. කාගෙන්වත් තහංචියක් තිබුණේ නෑ ඒ වගේ නිර්මාණ කරන්නට. මේ නිසා යහපත් නිර්මාණ රාශියක් අපේ සමාජයට දායාද වුණා මේ කාලේ.

සෙක්කුව නාට්‍යයේ ගීත ගණනාවක් තිබුණා. එයින් වඩාත්ම ජනප්‍රිය වූ ගීතයයි මේ ගීතය. එය රචනා කලේ පරාක්‍රම නිරිඇල්ලයි. සංගීතය සැම්සන් සිල්වා ගෙන්. ගායනා කරන්නේ එඩ්වඩ් ජයකොඩි, ජය ශ්‍රී චන්ද්‍රජිත් ඇතුළු පිරිස.