ජල තරංග, ග්ලොකන්ස්පීල් සහ වයිබ්‍රපෝනය

ජල තරංග, ග්ලොකන්ස්පීල් සහ වයිබ්‍රපෝනය

ජල තරංග, ග්ලොකන්ස්පීල් සහ වයිබ්‍රපෝනය අපේ සිංහල ගීත වල බෙහෙවින් භාවිතා වුණ වාද්‍ය භාණඩ තුනක්. මේ වාද්‍ය භාණඩ වල හඬ එකිනෙකට තරමක් සමාන නිසා ගීතයක හෝ වාද්‍ය ඛණ්ඩයක භාවිතා වී ඇති භාණ්ඩය කුමක්ද යන්න නිවැරදිව නිගමනය කිරීම තරමක් අපහසුයි.

ජල තරංග යනු පිඟන් මැටි (porcelain) වලින් සැදූ බඳුන් කිහිපයක් වතුර පිරවීමෙන් සුසිර (tune) කරගැනීමෙන් සාදාගත් සංගීත භාණ්ඩයක්. එම බඳුන් වලට ලී හෝ ප්ලාස්ටික් කෝටු දෙකකින් තට්ටු කිරීමෙන් බඳුන සහ පුරවා ඇති ජලය කම්පනය වීමෙනුයි නාදය උපදින්නේ. ජල තරංග පෙරදිග සම්භවයක් ඇති සංගීත භාණ්ඩයක්. ඉන්දියාවේ එය Jal Tarang ලෙස හැඳින්වෙනවා.

ග්ලොකන්ස්පීල් (glockenspiel) සහ වයිබ්‍රපෝනය (vibraphone) ජල තරංග වලට වඩා මුළුමනින්ම වෙනස්, බටහිර සමභවයක් ඇති භාණ්ඩ දෙකක්. භාණ්ඩ දෙකේම නාදය ඉපදෙන ආකාරය එකමයි. එක් එක් දිගින් යුත් ලෝහමය දඬු (metal bars) ලී හෝ ප්ලාස්ටික් කෝටු අගට කුඩා බෝලයක් අමුණා සාදාගත් mallet නමින් හඳුන්වන මිටියක් වැනි දෙයකින් තට්ටු කිරීමෙන් ඒවායේ නාදය ජනනය වෙනවා. ග්ලොකන්ස්පීල් ප්‍රමාණයෙන් පොඩියි. ක්‍රියාත්මක වන ආකාරය සරළයි. වයිබ්‍රපෝනය ප්‍රමාණයෙන් විශාලයි. ක්‍රියාත්මක වෙන ආකාරය සංකීර්ණයි. වයිබ්‍රපෝනයේ ස්වරයක් වාදනය කළ විට එය බොහෝ වේලාවක් පවතිනවා (sustain වෙනවා). ඒ අනුනාදක බට (resonators) හේතුවෙන්. ඒ වගේම අනුනාද වන හඬත් සුළු වශයෙන් අඩු වැඩි වෙනවා (vibrato) එහි තිබෙන pulsator disc නිසා. නාදය පවතින කාලය අඩු වැඩි කිරීම සඳහා damper එකක්ද එහි තියනවා.

ග්ලොකන්ස්පීල් භාණ්ඩය ප්‍රමාණයෙන් පොඩි නිසා ප්‍රසංග වලට යන විට ගෙනියන්නට බොහොම පහසුයි. නමුත් වයිබ්‍රපෝනයේ මෙන් අනුනාදක බට (resonators) නැති නිසා ශබ්දය වයිබ්‍රපෝනයේ තරම් පවතින්නේ (sustain වෙන්නේ) නෑ.

වයිබ්‍රපෝනයේ හඬ ග්ලොකන්ස්පීල් සහ ජල තරංග වලට වඩා පවතින (sustain වෙන) නිසා එය පහසුවෙන් හඳුනා ගන්නට පුළුවන්. නමුත් ජල තරංග සහ ග්ලොකන්ස්පීල් හඬ වෙන්කර හඳුනා ගැනීම එතරම් පහසු නෑ. නමුත් ජනනය වෙන හඬ වඩාත් කිට්ටු පිඟන් මැටි බඳුනකින් ජනනය වෙන හඬකටද, නැතිනම් ලෝහමය පටියකින් ජනනය වෙන හඬකටද යන්න සලකා බැලීම කළොත් නිවැරදිව හඳුනා ගැනීම එතරම් අපහසු වෙන්නෙත් නෑ. ග්ලොකන්ස්පීල් හඬ ජල තරංග හඬට වඩා තියුණු (sharp) බවත් සැළකිය යුතුයි.

මට මතක හැටියට ස (වික්ටර් රත්නායක) සහ ස්වර්ණ කුණ්ඩල (සනත් නන්දසිරි) ප්‍රසංග දෙකේම ග්ලොකන්ස්පීල් භාවිතා වුනා. ස ප්‍රසංගයේ ග්ලොකන්ස්පීල් භාණ්ඩය වාදනය කළේ සේන වීරසේකරයන‍්. ගුවන් විදුලි වාදක මණ්ඩලයේ ජල තරංග බොහෝ විට වාදනය කළේ සිතාර් වාදක පියදාස අතුකෝරලයන්. වයිබ්‍රපෝනය වාදනය කළේ ටියුලින් ජයරත්නයන්.

එක් එක් භාණ්ඩ භාවිතා වුණ අවස්ථා:

ජල තරංග

1. සසර සැරි සරා දස පාරමී දම් පුරා (අමරදේවයන්, උල්පත ගීත නාටකය)

2. අපෙ අම්මා කොළඹ ගිහිල්ලා (එස් ලියනගේ ගැයූ ළමා ගීයක්)

3. කොන්ද නමාගෙන (ශිරෝමි ප්‍රනාන්දු ගැයූ ළමා ගීයක්). මෙහි ජල තරංග වාදනය කරන්නේ පියදාස අතුකෝරලයන්.

4. මේඝයක් සේ හුදකලාවී (නන්දා මාලිනී, සංඛ පද්ම රූපවාහිනී වැඩ සටහන). මෙහි ජල තරංග වාදනය කරන්නේ පියදාස අතුකෝරලයන්. https://youtu.be/emv8l6njWBY වීඩියෝව බලන්න.

වයිබ්‍රපෝනය

1. සසර වසන තුරු (අමරදේවයන්)

2. සිරිමා බෝ පත් (ඉන්ද්‍රාණි බෝගොඩ, විනී බෝගොඩ)

3. මිහින්තලා ගීත නාටකය

4. ටිකිරි ටිකිරි ටික් ටිටික් - මුල් පටිගත කිරීම (නන්දා මාලිනී). මෙහි වයිබ්‍රපෝනයේ  damper භාවිතාවෙන්  හඬ sustain වීම සම්පූර්ණයෙන්ම පාහේ නවතා ඇත.

ග්ලොකන්ස්පීල්

1. සුළං හමයි (සනත් නන්දසිරි). මෙහි ග්ලොකන්ස්පීල් වාදනය කරන mallet එක භාණ්ඩයේ එක් කොනක සිට අනෙක් කොන දක්වා ඉක්මණින් එහා මෙහා ගෙනයමින් සුළඟ නිරූපණය කරන ආකාරය සිත් ගන්නා සුළුයි.

2. ආදරයේ උල්පත වූ අම්මා - සූරිය පටිගත කිරීම (වික්ටර් රත්නායක). මෙහි ග්ලොකන්ස්පීල්, ගිටාර් සහ සිතාර් භාණ්ඩ තුනම එකවර වාදනය වන බව සළකන්න.

3. ආදරයෙන් මා හදවට එතෙනලතා (අබේවර්ධන බාලසූරිය)

තව දුරටත් මේ භාණ්ඩ ගැන තොරතුරු සඳහා:

Jal Tarang: https://youtu.be/BhNcjLy5CeA

Glockenspiel: https://youtu.be/7sYsxcdTcXY

Vibraphone: https://youtu.be/b0qffO4dF0o

Idiophone Comparison: https://youtu.be/SWi5EGygvEc