කේමදාස මාස්ටර්, සංගීත මංජරී, කැලෑ මල් සහ සිරිකත එන මග

කේමදාස මාස්ටර්, සංගීත මංජරී, කැලෑ මල් සහ සිරිකත එන මග

කැලෑ මල්

1959 ජනවාරි 3 වන දා සංගීත විද්‍යායතනයක් ලෙස කොළඹ මරදානේ ටෙක්නිකල් කොලීජිය අසල ෂර්මන් ඩී සිල්වා කොම්පැණිය පෙනෙන මානයේ කුඩා කඩ කාමරයක සංගීත් මංජරී ආරම්භ කිරීම, කේමදාසගේ දුවනගිරි සංගීත දිවිය එක තැනක, එක පියස්සක් යට රැඳවීමේ උත්සාහයක් විය.

එ වකට ඉතාමත්‌ ජනප්‍රිය ග්‍රැමෆෝන්‌, ගුවන්විදුලි සහ චිත්‍රපට ගායකයා වූ ධර්මදාස වල්පොල ද සංගීත්‌ මංජරිය පිහිටුවන්නට හවුල්‌ විය. පසු ව ඔහු ඉවත්‌ ව ගිය අතර, කේමදාස තනි ව මංජරිය පවත්වාගෙන ගියේ ය. මෙ කල විවිධ සංගීතඥයින්ගේ දායකත්වය හේතු කොටගෙන සිංහල සංගීත ක්ෂේත්‍රය පුළුල්‌ වෙමින්‌ තිබුණු අතර, සංගීත්‌ මංජරිය ඒ මැද අලුත්‌ ගමනකට මුල පුරන්නට බලා සිටින පෙරටුගාමී සංගීත ශාලාවක්‌ බවට පත්‌ විය.

පෙනුමෙන්‌ දිළිඳු වුවත්‌, නොයෙකුත්‌ ආර්ථික අමාරුකම්‌ මධ්‍යයේ පවත්වාගෙන ගියත්‌, සංගීත මංජරිය ආකර්ෂණීය ස්ථානයක්‌ චී තිබිණි. එ කල ප්‍රසිද්ධ ව සිටි කලාකරුවෝ ද, පසුව ප්‍රසිද්ධිය ලැබූ කලාකරුවෝ ද එ තැනට ආ ගියහ. ධර්මදාස වල්පොල, ජෝ අබේවික්‍රම, ඇල්‌.ඇම්‌. පෙරේරා, ශ්‍රීමතී රසාදරී, හියුගෝ ජයමහ, ඒලියන්‌ සොයිසා, එඩ්වඩ්‌ සෝමපාල, සිසිර සේනාරත්න, හරූන්‌ ලන්ත්‍රා, ඇන්ජලින්‌ ගුණතිලක, ලතා වල්පොල, වික්ටර්‌ රත්නායක, සරත්‌ දසනායක, සොමපාල රත්නායක, චින්සන්ට්‌ අත්තනායක, බර්ටි රණසිංහ, විජේරත්න රණතුංග, එච්‌.ආර්‌. ජෝතිපාල, ධර්මසිරි ගමගේ ආදීහු ඒ අතර සිටියහ. ඇන්‌.ඇම්‌. පෙරේරා, විවියන්‌ ගුණවර්ධන වැනි වාමාංශික නායක නායිකාවෝ ද එහි පැමිණියහ.

මෙ කල කේමදාසගේ ජීවිතය දුෂ්කර එකක්‌ වූ අතර, ඔහුගේ ප්‍රතිභාව පිළිබඳ ව ආරංචි වී එහි පැමිණ කේ.ඒ.ඩබ්ලියු. පෙරේරා, ගාමිණි ෆොන්සේකා වැනි සිංහල සිනමාවේ සහකරුවන්ට දකින්නට ලැබුණේ පුටු කබල්‌ සහිත බොහිමියානු පරිසරයකි.

සංගීත්‌ මංජරිය සිංහල ගීත නාටක කිහිපයක තිඹිරිගෙයද විය. බැරි සිල්‌, කැලෑ මල්‌, නවරැල්ල හා රතු මල්‌ යන ගීත නාටක එක පස එක එළි දුටුවේ ය. ප්‍රේක්ෂක විචාරක අනුග්‍රහයෙන්‌ තොර ව ඉතා දුෂ්කර ආර්ථික තතු මධ්‍යයේ බිහි වූ මේ නිර්මාණ කිසිවක්‌ එ වකට පැවැතුණු කලා නිර්මාණ වර්ගීකරණය ඔස්සේ තේරුම්‌ ගත නො හැකි ය.

කේමදාසගේ එම මුල්කාලීන නිර්මාණවල ගීත තිබුණත්‌ ඒවා සංගීත ප්‍රසංග නො වී ය. වේදිකාමය නාට්‍ය ජවනිකා සහ ප්‍රේක්ෂා තිබුණත්‌ හුදෙක්‌ නාට්‍යයන්‌ ද නො වී ය. ඒවා ගීත නාටක ලෙස තවත්‌ එ වැනි නිර්මාණ කිහිපයක්‌ නිදසුන්‌ කොටගෙන පෙන්වා දෙනු ලැබුවත්‌, කේමදාස තම නව නිර්මාණ මාලාව හඳුන්වා දෙන ලද්දේ "සංගීත නාට්‍ය' ලෙසිනි. 1962 නිෂ්පාදිත කැලෑ මල්‌ සංගීත නාට්‍යයේ විස්තර පත්‍රිකාවේ ඇතුළත්‌ ප්‍රස්ථාවනාවෙන්‌ පෙන්නුම්‌ කරන්නේ සංගීතකරුවකු ලෙස කේමදාසගේ අභිලාසය සුළුපටු එකක්‌ නො වුණු බව ය.

"නාට්‍යයක්‌ පටන්‌ ගත්‌ තැන සිට අවසානය දක්වා සංගීතය මත පවත්වාගෙන යාම ඉතාමත්‌ අපහසු කාර්යයකි. මේ අපහසු කාර්යය සාර්ථක ලෙස ඉටු කිර්මට නම්‌ පෙරදිග හා අපරදිග සංගීතය පිළිබඳ හොඳ දැනීමක්‌ තිබිය යුතු ය. ….

සංගීත නාට්‍යයෙහි එන චරිතවල හැගුම්‌, සිතුම්‌ හා පැතුම්වලට උචිත තනු, ගී හා වාදන නියම තැන නියම පිළිවෙළට යෙදිය යුතු ය. මෙහි ඇතැම්‌ ගීයක්‌ සරල තනුවක්‌ මත ගෙතුණු එකක්‌ ලෙස ඇසුණත්‌ සැලැකිල්ලෙන්‌ කන්‌ යොමා සිටියොත්‌ එය ම ගැඹුරු ශාස්ත්‍රීය රාගයක්‌ මත නිර්මාණ වූවකැයි ඔබට වැටහේ.”

කැලෑ මල්‌ ඉදිරිපත්‌ කරන ලද්දේ සංගීත මංජරී ගිෂ්‍ය සමිතියේ කුලුඳුල්‌ උත්සාහය වශයෙනි.  මහ කවි බොරලැස්ගමුවේ ජී. එච්. පෙරේරාගේ බාල පුතා, සහ 'සරසවිය', 'නවයුගය' හා පසුව 'සිළුමිණ' පුවත්පත්වල ප්‍රධාන කර්තෘවරයා වූ විමලසිරි පෙරේරාගේ එකම සොහොයුරා වූ විමලවීර පෙරේරා  විසින්‌ ලියන ලද කැලෑ මල්‌ සංගීත කතාවට පසුබිම්‌ වන්නේ ගම්බද කම්මලකි. ජවනිකා තූනකින්‌ යුත්‌ මෙහි උදයත්‌, එ දින රාත්‍රියත්‌, පසු දා උදයත්‌ දැක්වේ. 'සිරිකක එන මඟ’ හා "සීගිරි ගල මුසපත්‌ කළ කැටපත්‌ පවුරේ' ගී ගායනා කරන ලද්දේ ධර්මදාස වල්පොල හා ලතා වල්පොල විසිනි. එ කල ජනප්‍රිය ගුවන්විදුලි ගායකයකු වූ කේ. සේන පසුබිම්‌ ගායනයට එකතු විය.

සිරිකත එන මඟ ළා තණ ගොබ මත පිනිකැට අතුරාලා' යන ගීය ගැන කේමදාස කැලෑ මල් විස්තර පත්‍රිකාවේ මෙසේ කියයි:

“… ගීයට ඉතා සැලැකිල්ලෙන්‌ කන්‌ දුන හොත්‌ හිරු නැඟෙන උදයේ වැයෙන සංගීතයෙන්‌ මිනිසකුගේ පිබිදීම පිළිබිඹු වන බව ප්‍රත්‍යක්ෂ වනු ඇත. මේ පිබිදීම පෙන්වීමට යොදා ඇත්තේ ලතාවකට කෙමෙන්‌ පුබුදින මලක්‌ සිහි ගන්වන තනුවකි. මේ තනුවේ 'වෙය' හෙවත්‌ 'වේගය' සෙමෙන්‌ සෙමෙන්‌ ඉහළ නගී. ඇඟමැළි කඩමින්‌ මිනිහා ප්‍රාණවත්‌ වන්නේ ද මේ තනුවට අනුව ය. ගී රසයෙන්‌ මත්‌ ව නො දැනුවත්‌ ව ම පුබුදින කම්මල්කරුවා වැඩ පටන්‌ ගනී. ඔහුගේ කඩිසරකම අනුව තනුව ද වෙනස්‌ වේ.. දැන්‌ කම්මලේ මතුවන හැම වැඩක්‌ ම වෘදනයට මුසු වෙයි. 'මයින හම' අදින රිද්මයේ සාරය බඳු රිද්මයකින්‌ ගීයේ රිද්මය ද ලස්‌ පහත්‌ වෙයි. යකඩ තළන හඬ, ලිපේ බුර බුරා නඟින ගින්නට අඟුරු දමන හඬ, පීරි ගාන හඬ පසුබිමේ ඇසෙයි. මෙහි දී විශේෂයෙන්‌ සඳහන්‌ කළ යුත්තකි. යකඩයක්‌ පීරි ගාන අමිහිරි හඬ ඉතා මිහිරි අන්දමින්‌ 'වයලීන්‌' තුනක ආධාරයෙන්‌ මතු වේ. තනුවේ රිද්මයටත්‌, වෙයටත්‌ (වේගයටත්‌) හානියක්‌ නො වන ලෙස මේ වයලීන්‌ තුනේ ආධාරයෙන්‌ එය ඇතූළු කළෙමි. එය ඉතා අමාරු කටයුත්තක්‌ බව දැන්‌ ඔබට වැටහෙනවා ඇත. සංගීත නාට්‍යයක හැම ගීතයක්‌ ම සංගීතයට නැඟිය යුත්තේ හොඳ අවබෝධයකින්‌ යුතු ව ය.”

උපුටා ගැනීම: එරික් ඉලයප්ආරච්චි, ප්‍රේමසිරි කේමදාස විචාරාත්මක චරිතාපදානය, ප්‍රකාශනය: ෆාස්ට් පබ්ලිෂින් (ප්‍රයිවට්) ලිමිටඩ්