කේමදාස මාස්ටර් සහ අම්මා
කේමදාසගේ චරිතයෙහි ලා කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ සිය මව කෙරෙහි පැවැතුණු අසීමිත භක්තිය හා ලැදියාව යි. කේමදාස පවුලේ බාලයා වූ බැවින් ඔහු ලොකු මහත් වන තුරුම මවු සෙනෙහස නො අඩුව ලැබිණ. අම්මාවරුනේ ගීතයේ සිට මගේ කාලයේ මවුනි සංධ්වනිය දක්වා පැතිරුණු ඔහුගේ මාතෘ ප්‍රේම චින්තාව එම ළැදියාවේ උත්තරීකරණයක් විය යුතුය.
1937 දී කේමදාස උපන් ලංකාවේ දකුණුදිග මුහුදුබඩ පිහිටි වාද්දුව, තල්වත්ත බෞද්ධ පරිසරයක් මැද කූඹුරු ගොවිතැන සහ ධීවර කර්මාන්තය එකට යා වුණු අර්ධ - නාගරික ආර්ථිකයක් පැවති ගමකි. පවුලේ ජීවනෝපාය වී තිබුණේ හරකුන් හය හත් දෙනකුගෙන් සමන්විත ගව පට්ටියකි.
පවුලේ ජීවනාළිය වූ ගව පට්ටිය ඇසුරේ මැවුණු ගොපලු දනව් පරිසරය සහ ඊට ආවේණික සංගීත භාණ්ඩය වූ බටනළාව ළමා කේමදාසගේ සංගීත දිවිය හැඩ ගැස්වී ය. දවාලේ පිල්ලෑවට බැස අම්මා තණකොළ කපයි. අම්මා කපන තණකොළ මිටිය උසුලාගෙන යන්නට කල් එළැඹෙන තෙක් ගස් සෙවණක හිඳ බටනළාව වැයීම ඔහුගේ සිරිත විය.
කේමදාස මුහුදුබඩ දරුවන්ට ආචේණික නිදහස ළමා ජීවිතය සිත් සේ භුක්ති වින්දේය. වත්ත කෙළවර බටහිර මායිමෙන් දිවෙන දුම්රිය පාර දිගේ තම සහෝදරයා ද සමඟ පාසල් යන ඔහු, ඉඳහිට පොත් ටික කරත්ත මඩුවේ තබා කැලෑ පනියි. නැති නම් මහ මුහුදේ දිය කෙළින්ට යයි. මේ බව දැන සිටි මව විසින් දරුවන් නිවසට ළඟා වූ විගස සිදු කරනු ලබන අපූරු පරීක්ෂණයක් තිබිණ. එ නම් උන්ගේ ඇඟපත තම දිවෙන් ලෙව කා ලුණු රස තිබේදැයි සෙවීම යි. ඇඟෙහි ලුණු රස තිබීමේ රහස බියකරු මුහුදේ ගිලී නෑම බැවින් දැඩි දඬුවම් පමුණුවනු ලැබිණ.
ගමේ කුඹුරුවලට හෝ වෙනත් සුළු ව්‍යාපාරයකට හෝ හිමිකමක් නො තිබුණත් තල්පිටිය පන්සලට තම ඉඩමෙන් පංගුවක් පූජා කරන්නට තරම් කේමදාස පවුල දානශීලී විය. නමුත් මේ භූමි පූජාව නිසා ඔවුන් සතු ව තිබූ ළිඳ අහිමි විය. ළිඳ දැන් ඇත්තේ පන්සල් වත්ත කෙළවරක ය. මේ නිසා බීමට වතුර ගෙන යාම සඳහා පන්සල් වත්තට යන්නට පවුලේ සාමාජිකයන්ට සිදුවිය.
අම්මා ළිඳට යන විට ඇය පසුපස වල්ගය මෙන් යාම කේමදාස දරැවාගේ සිරිත ය. පරිකල්පනයේ මහත් බව නිසාදෝ මේ ගමනේ දී ඔහුට පෙනෙන මායා දර්ශනයක් විය. ඔහු එය දකින්නේ ඒ උපශාන්ත භූමිය මත උදෑසන ඉර එළිය ගලා යන අවස්ථාවේ ය. එම දර්ශනය නම් උදේ හවා වඳින පන්සලේ බුදු ගෙයි පිළිමය පණ ලබා පන්සල් මිදුලේ උපශාන්ත ලෙස සක්මන් කිරීම යි. එ නමුත් අම්මා සමඟ ආපසු එන අතරේ ඒ පිළිම වහන්සේ පිළිම ගෙය තුළ පියවි රුචින් වැඩ හිඳිණු කේමදාස දරුවාට පෙනේ.
කේමදාසයන්ගේ නිර්මාණ අතරේ මව ගැන කළ නිර්මාණ විශේෂ තැනක් ගනී. මේ එවන් නිර්මාණ කිහිපයකි.
-
1982 - අම්මාවරුනේ ගීතය
ධර්මසිරි ගමගේ කතාව, දෙබස්, සහ තිර නාටකය ලියා අධ්‍යක්ෂණය කළ යස ඉසුරු චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය වූ මේ ගීතය රචනය කළ ධර්මසිරි ගමගේ හොඳම ගීත රචකයා ලෙසත්, ගායනය කළ නන්දා මාලිනී හොඳම ගායිකාව ලෙසත් 1982 සරසවි සම්මාන උළෙලේදී සම්මාන ලැබූහ. මේ ගීතය සඳහා නන්දා මාලිනී 1982 ජනාධිපති සම්මාන උළෙල දක්ෂතම පසුබිම් ගායිකාව සම්මානයද, 1985 ඕ.සී.අයි.සී සම්මාන උළෙලේ විශේෂ ජූරි සම්මානය ද දිනා ගත්තාය. -
1978 - මගේ කාලයේ මවුනි සංධ්වනිය
කේමදාස මගේ කාලයේ මවුනි නිර්මාණය කරන්නේ මවු ගුණ තේමා කරගත් ගීත සුලබ ගායනා සංස්කෘතියක් තුළ මවකට ගෞරව දැක්වීම සඳහා ගීතයට වැඩිමනත් යමක් සොයා යාමේ වුවමනාවෙනි. පෙර'පර දෙදිග වාද්‍ය භාණ්ඩ පනහක් පමණ වෘන්දගත කොට මේ නිර්මාණය ඉදිරිපත් කරන ලද අවස්ථාවේ දී කේමදාස විසින් ප්‍රකාශ කරන ලද අදහස් මෙ සේ විය.
"මව පුතුගේ ජීවිතය පුරා ම ඉන්ද්රඛබීලයක් ලෙස නො සැලී සිටිනවා. වසර ශතකයක් මුළුල්ලේ ඇගේ සිතුවිලි සමුදාය පුරා උතුරා ගිය දයාව, කරුණාව, මුදිතාව, බලාපොරොත්තු වේගයෙන් ගලා යන කාලයේ සමාජ ප්රවාහයට හසුව ඇත. බලාපොරොත්තුව උදා වන තුරු මගේ කාලයේ මවුනි, තවත් දශකයක් ජීවත් වීමට, ඔබට දයාබර ව ආරාධනා කරනවා.”
කේමදාසගේ මුල් බලාපොරොත්තුව වුණේ මේ සංධ්වනිය තම මව ඉදිරියේ, ඇය ශ්‍රවණාගාරයේ අසා සිටිද්දී ඉදිරිපත් කරන්නට ය. එ නමුත් ඊට දෙදිනකට පෙර, එ නම් 1978 මැයි 2 වන දා තම සංධ්වනියේ වැඩ අවසන් කරමින් සිටි උදෑසන ගේට්ටුව සද්ද වනු ඔහුට ඇසිණ. එය අසුබ ආරංචියක තත් හඬ බව ඇතූළු හදවත ඔහුගේ කනට කොළඳුළේ ය. පණිවුඩකරු, වාද්දූවේ සිට කොළඹට රැගෙන විත් තිබුණේ කේමදාසගේ මව මිය ගිය ආරංචිය යි.
වාද්දුවේ ආදාහන කටයුතු නිමා වූ විගස කොළඹ පැමිණ කේමදාස තම සංධ්වනිය ඉදිරිපත් කළේ ය. මව වාඩි කරන්නට නියමිත වූ පුටුව මත පිරුවටයක් දමා තිබිණි.
කොළඹ කාන්තා විද්‍යාලයීය ශාලාවේ දී සිය මෑණියන් වෙනුවෙන් පූජෝපහාර පිණිස සංධ්වනිය පවත්වන ලද එදා සිකුරාදා ය. බ්‍රහස්පතින්දා සවස් යාමේ වාද්දුවේ තල්පිටියේ සොහොන් බිමේ ඇය ආදාහනය කෙරිණ. මිය යන විට ඇයගේ වයස අවුරුදු අනූවකි.
-
197x - අම්මා ගුවන් විදුලි ගීත නාට්‍යය
සරත් කුරේ විසින් රචිත මේ ගීත නාට්‍යයේ ගීත පහක් අඩංගු විය. නන්දා මාලිනී ගයන බෝනිකකෝ ඔහොම හිටූ ගීතය තරමක් ජනප්‍රිය වූ නමුත් අනෙක් ගීත ජනප්‍රිය වූයේ නැත. -
1964 - මේ ලෝ තලයේ ගීතය
මව් ගුණ ගීතයක් වූ මෙ ගීය අඩංගු වූයේ නවරැල්ල නම් ගීත නාටකයේ ය. එම ගීත නාටකයේ අරමුණ වූයේ උත්තර භාරතීය රස විවරණයේ එන නව නළු රසයන්, ගී පද, සංගීතය සහ නර්තනයන් මගින් වේදිකාවේ නිරූපණය කිරීමයි. මෙහි කරුණා රසය නිරූපණය කරන්නට කළ නිර්මාණය, පීලූ රාගය ආශ්රයෙන් අම්මා ගැන නිර්මාණය වූ සරල ශාස්ත්‍රීය ගීයකි. මේ ගීතය ගායනා කර ඇත්තේ ධර්මදාස වල්පොල සහ ලතා වල්පොල යි. නවරැල්ල ගීත නාටකයේ සියළුම ගී පද රචනය ධර්මසිරි ගමගේ විසින් රචනා කර ඇත.
ඇසුර: එරික් ඉලයප්ආරච්චි, ප්‍රේමසිරි කේමදාස විචාරාත්මක චරිතාපදානය, ප්රකාශනය: ෆාස්ට් පබ්ලිෂින් (ප්‍රයිවට්) ලිමිටඩ්