මියුරස වින්දන 2
ගීත එකතුව
- කලා සයුර බඳු ජලාශයයි (නන්දා මාලිනී / සුදත් චන්ද්‍රසිරි සෙනෙවිරත්න / නන්දා මාලිනී)
- පුරා කදමලු උර දරා (බණ්ඩාර අතාවුද, මාලිනී බුලත්සිංහල / කුමාරදාස සපුතන්ත්‍රී / එච් එම් ජයවර්ධන)
- අහසින් මුහුදින් (එච් ආර් ජෝතිපාල, ඒ ජේ කරීම්, ටී එම් ජයරත්න, මාලිනී බුලත්සිංහල / අජන්තා රණසිංහ / ප්‍රේමසිරි කේමදාස )
- කෝල කැකුළි (නිර්මලා රණතුංග / වසන්ත කුමාර කොබවක / එච් එම් ජයවර්ධන)
- සුමුදු මල් පිපුණු අතු කොනේ (මූන්ස්ටෝන්ස් ගායක කණ්ඩායම)
1. කලා සයුර බඳු
අපි අද මුලින්ම ඉදිරිපත් කරන්නේ නීතීඥ සුදත් චන්ද්‍රසිරි සෙනෙවිරත්නයන් විසින් මීට කලකට ඉහතදී ලියූ, නන්දා මාලිනිය විසින් සංගීතවත් කර ගායනා කරන "කලා සයුර බඳු ජලාශයයි" නම් ගීතය. මේ ගීතය කෙටි ගීතයක්. සාමාන්‍යයෙන් ගීතයක අන්තරා කොටස් දෙකක් හෝ ඊට වැඩි ගණනක් තියෙනවා. මේ ගීතයේ ඇත්තේ එක අන්තරා කොටසයි.
නන්දා මාලිනිය මුල් කාලයේ එතුමියගේම තනු වලට ගීත ගායනා කළා. මේ ගීතයේ තනුවෙහි ඇතැම් කොටස් සහ එතුමිය සංගීතවත් කල තවත් ගීතයක් වන මිරිවැඩි සඟලක් ගීතයේ තනුවේ කොටස් අතර සමානත්වයක් පෙනෙන්නට තියෙනවා. එකම සංගීතඥයා සංගීතය නිර්මාණය කරද්දී එක ගීතයක සෙවනැල්ල වෙනත් ගීතයකට වැටෙන අවස්ථා තිබෙනවා.
මේ ගීතය 1970 දශකයේ පමණ නිර්මාණය වුන භක්ති ගීතයක්. නමුත් මා උත්සාහ කළා වෙන යම්කිසි නිර්මාණ කාර්යයක් කරන්නට.
කලා සයුර බඳු ජලාශයයි
ශිලා ගිරෙක බුදු විලාසයයි
ස්වාභාවික ගිරි කුලක බුදු පිලුමයක් නෙලා තිබීම තමයි මෙතැන තියෙන සිද්ධිමය කාරණාව. ඒ මහා විශාල රළු පර්වතය බුදු පිළිමයක් බවට පෙරලුනාට පස්සේ එය අපේ ජීවිතවලට භක්තිය කැඳවන්නේ කොහොමද කියන එක තමයි මට කියන්නට උවමනා වුණේ. කලා වැවේ තියෙන වතුරේ මුදු භාවය, කළු ගලේ තියෙන රළු භාවය යන දෙකම එකතුවුනාට පස්සේ අවුකන මතුවෙන්නේ බුදු පිළිමයක්. ඒ බුදු පිලිමය ලඟට ගියාට පස්සේ ඒ දෙකම අමතක වෙලා මතුවෙන්නේ බුදුන් විතරයි - බුදු කරුණාව විතරයි. එවිට අපට ඇතිවෙන සැදැහැ හිත සහ ඒ සමග ඇතිවෙන භක්තිය ගැනයි මේ කියන්නේ."ශිලා ගිරෙක බුදු විලාසයයි" පදයට පස්සේ අපි සම්පූර්ණයෙන්ම කතා කරන්නේ භක්තිය ගැන, බුද්ධ පූජාව ගැන, ඒ පරිසරය ගැන, තියෙන සහනය ගැන. මම උත්සාහ කලේ, කලා නිර්මාණයක් මිනිසෙකුට ආත්මීය වශයෙන් බලපාන්නේ කොහොමද කියා කියන්නටයි.
මම මේ ගීතය අද ඇහුවේ අවුරුදු ගණනාවකට පසුවයි. ඒ මේ ගීතයට සම්බන්ධ කෙනෙක් හැටියට නෙමේ, ආගන්තුකයෙක් හැටියට. මේ ගීතය ලියන කාලයේ මට අවුරුදු විසි ගණනක් වෙන්නට ඇති. දැන් අපි ජීවිතයේ අග්ගිස්සේ ඉන්නේ. තරුණ කාලයට වඩා අද අපට ආගම භක්තිය චිත්ත සමාදානය වගේ දේවල් දැනෙනවා. ඒ තරුණ කාලයේ ලියූ ගීතය අද අහන විට මට තේරෙනවා මා කියන්නට අරමුණු කල දේ සාර්ථකව කියැවිලා තියෙනවා කියලා.
එලෙස අදහස් දක්වන්නේ ගීත රචක සුදත් චන්ද්‍රසිරි සුදත් චන්ද්‍රසිරි සෙනෙවිරත්නයන්.
2. පුරා කදමලු උර දරා
අපි මීළඟට ඉදිරිපත් කරන ගීතය ගායනා කරන්නේ බණ්ඩාර අතාවුද සහ මාලිනී බුලත්සිංහල. ගී පද කුමාරදාස සපුතන්ත්‍රී ගෙන්. සංගීත නිර්මාණය එච් එම් ජයවර්ධනයන්ගේ. මේ ගීතය 1980 දශකයේ බණ්ඩාර අතාවුදයන් සරල ගී වැඩ සටහනකට ඇතුලත් වුණු ගීතයක්.
පුරා කද මලු උර දරා
නොඑවු දරුවනි අප සොයා
පියවරුන් ඇත මාවතේ තව
කුස පුරාලනු උන් සොයා
අද අපේ සංස්කෘතියට බටහිර සංස්කෘතියෙන් ආ මවුවරුන්ගේ දිනය, පියවරුන්ගේ දිනය වගේ නොයෙකුත් දින එකතු වෙලා තියෙනවා. ඒ වගේ දින වලදී මවුවරුන් සහ පියවරුන් වෙනුවෙන් කොතරම් නිකරුණේ මුදල් නාස්ති වෙනවා ඇතිද? මේ මව සහ පියා කියන්නේ එලෙස කරන අනවශ්‍ය වියදම් මාවතේ සිටින මවුවරුන් පියවරුන් සහ දරුවන්ගේ යහපතට යොදන්නට කියලයි.
එච් එම ජයවර්ධනයන් මේ ගීතයට බොහොම සරල, අල්පේච්ඡ, සංගීත නිර්මාණයකුයි යොදා තියෙන්නේ. තනි වයලීනය, සිතාරය, ග්ලොකන්ස්පීල් සහ තාල තරංග යන සංගීත භාණ්ඩ පමණයි යොදා ගෙන තියෙන්නේ. මේ තනි වයලීන හඬින් සහ සමස්ත ගීතයේ සංගීතය තුලින් කරුණා රසය මැනැවින් ජනිත වෙනවා.
3. අහසින් මුහුදින්
සිංහල සංගීත ක්ෂේත්රයේ දැවැන්ත චරිතයක් අපි පසුගියදා සිහිපත් කළා. ඔහු එච් ආර් ජෝතිපාලයන්. ජීවත්වුණු ජෝතිපාලයන්ට වඩා මියගිය ජෝතිපාලයන් අපේ සංගීත ක්ෂේත්රයේ ප්‍රබල චරිතයක් වී තියෙනවා.
ප්‍රේමසිරි කේමදාසයන් ජෝතිපාලයන්ගේ හඬ යොදාගත්තා වෙනස් ආකාරයේ නිර්මාණ කරන්නට. අප ඊලඟට ඉදිරිපත් කරන්නේ එවන් ගීත නිර්මාණයක්. කේමදාසයන් මේ ගීතයේදී ජෝතිපාලයන්ගේ හඬ තවත් සංගීත භාණ්ඩයක් හැටියට තමයි යොදා ගෙන තියෙන්නේ. ඒ වගේම ජෝතිපාලයන්ගේ හඬට වඩා ගැඹුරු හඬක් ඇති ඒ ජේ කරීම්ගේ හඬත්, ටී එම් ජයරත්නයන්ගේ හඬත්, මාලිනී බුලත්සිංහල ගේ හඬත් මේ ගීතයට යොදාගෙන තියෙනවා. මේ ගීතයේ තාල තරංග වාදනය කරන්නේ විජේරත්න රණතුංගයන්. ගීතය රචනා කර තිබෙන්නේ අජන්තා රණසිංහයන්. ගීතයේ ඇත්තේ පද පේළි දෙකක් පමණයි.
අහසින් මුහුදින් ගිගුරුම් හඬකින් මුළු ලොව වැනසී යා නම්
සිහසුන් දරමින් ඒ නව දෙරණේ මා අගරජ වී ඉන්නෙම්
මේ ගීතයේ තනු නිර්මාණය සහ ගීත රචනය හසුරුවනු ලබන්නේ රිද්මය විසින්. එය කේමදාසයන්ගේ සාර්ථක අත්හදා බැලීමක්. විවිධ වූ භේරි නාදයෙන් උපදින මේ ගීතයේ සංගීතය, ජීවිතයේ අසීමිත අතෘප්තිය සහ අන්ධ වූ ආශාවන් පිළිබඳ උද්දීපන හැගීම් සංගීතයෙන් සටහන් කරනවා.
4. කෝල කැකුළි
70 දශකයේ තරුණ හිත බොහොම අමන්දානන්දයට පත් කල ගීතයක් තමයි නිර්මලා රණතුංග ගායනා කරන
කෝල කැකුලි ගැන අමනාපද මන්දා
ආලවන්ත බහකට නොපැමිණි හන්දා
ගීතය. මේ ගීතය රචනා කර ඇත්තේ වසන්ත කුමාර කොබවකයන්. සංගීතය එච් එම් ජයවර්ධනයන්ගේ. මේ ගීතයේ අර්ථය සහ සංගීතය නන්දා මාලිනී ගායනා කරන "කඩමණ්ඩියේ දොළ අයිනේ" ගීතයට බෙහෙවින් සමානයි.
මේ ගීතයෙන් පුන පුනා කියැවන්නේ ගමේ තියෙන දරිද්‍රතාවය සහ ඒ සමග බැඳුණු කටුක ජීවිතය ගැනයි.
සැපදුක් ලියනු බෑ අකුරක් බැරි පවට
පනමක් අතේ නෑ මන්දාරම් දොහට
පෝයට නාවෙ පිරුවට සළු නැති කමට
ගිය ටික දොහත් කල්පය වැනි ඒ දුකට
කොතරම් දුප්පත් වුනත් සුදුසු ඇඳුමක් නැතිව පන්සලට ඇය එන්නේ නෑ. ඒ වගේම කුමන අග හිග කම් තිබුණත් අගේ හද පතුලේ ලෙන්ගතුකම නම් උතුරා යන තරම් තියෙනවා.
5. සුමුදු මල් පිපුණු අතු කොනේ (කුරුළු ජෝඩුවක්)
60 දශකයේ අග භාගය වෙන විට අපේ සිංහල සංගීත ක්ෂේත්රයේ විශාල විපර්යාසයක් ඇති වෙනවා. ඒ තමයි කණ්ඩායම් සංගීතය අපේ සංගීත ක්ෂේත්රයට එකතුවීම. 70 දශකය වන විට කණ්ඩායම් සංගීතය අපේ සංගීත ක්ෂේත්රය මහත් සේ පෝෂණය කරන්නට දායක වෙනවා.
ඒ කාලයේ බිහිවුණ සංගීත කණ්ඩායම් අතරින් ප්රමුඛ කණ්ඩායමක් තමයි මූන්ස්ටෝන්ස් (Moonstones) ගායක කණ්ඩායම. මේ කණ්ඩායමේ සාමාජිකයන් වුණේ ඇනස්ලි මාලේවන, ඉන්ද්‍රානි පෙරේරා සහ ක්ලැරන්ස් විජේවර්ධන යන තිදෙනා සහ තවත් සංගීත ශිල්පීන් කිහිපදෙනෙක්. ක්ලැරන්ස් විජේවර්ධනයන් පසු කාලීනව ගීත ගායනයට අවතීර්ණ වූ නමුත් මේ කාලයේ එතුමා ගීත ගැයුවේ නෑ ප්‍රධාන ගායකයෙක් (lead singer) හැටියට. ගීත ගායනය බාරදුන්නේ ඇනස්ලි මාලේවනට සහ පසු කලෙක ඉන්ද්‍රාණි පෙරේරාට. ක්ලැරන්ස් විජේවර්ධනයන් දායක වුනේ සංගීත නිර්මාණයෙන්, වාදකයෙක් හැටියට, සහ ගීත රචනයෙන්.
අප දැන් ඉදිරිපත් කරන්නේ මූන්ස්ටෝන්ස් කණ්ඩායම නිර්මාණය කළ සුමුදු මල් පිපුණු අතු කොනේ (කුරුළු ජෝඩුවක්) නම් ගීතය. ගී පද සහ සංගීතය ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ. ගායනා කරන්නේ ඇනස්ලි මාලේවන සහ ඉන්ද්‍රාණි පෙරේරා. මේ ගීතය අඩංගු වෙන්නේ සූරිය ලේබලය යටතේ නිකුත් වූ මූන්ස්ටෝන්ස් කණ්ඩායමේ ගී තැටියක.