මියුරස වින්දන 3

මියුරස වින්දන 3

ගීත එකතුව

  1. ජයකේලි බන්දන (දයාරත්න රණතුංග, නාලිනී රණසිංහ / සරත් විමලවීර / දයාරත්න රණතුංග)
  2. එගොඩහ කන්දේ (සනත් නන්දසිරි / ඩෝල්ටන් අල්විස් / සනත් නන්දසිරි)
  3. යුදබිමේ ගීතය (මානෙල් ජයසේන / හෙන්රි ජයසේන / ෂෙල්ටන් ප්‍රේමරත්න)
  4. සඳෙන් සඳ මෝරත (විජේරත්න වරකාගොඩ / හෙන්රි ජයසේන / ෂෙල්ටන් ප්‍රේමරත්න)
  5. මල් යහනාවකි ලෝකේ (එම් එස් ප්‍රනාන්දු / කරුණාරත්න අබේසේකර / ප්‍රේමලාල් දන්වත්ත)
  6. සතුට සෝකේ (ලතා වල්පොල / කරුණාරත්න අබේසේකර / එම් කේ රොක්සාමි)

1. ජයකේලි බන්දන

jayakeli-bandana

දයාරත්න රණතුංගයන් සරල ගී විශාල සංඛ්‍යාවක් ගායනා කර සහ නිර්මාණය කර ඇතත් සිනමා සංගීතයට එතුමාගේ දායකත්වය බොහොම සීමිතයි. එතුමා චිත්‍රපට දෙකකට පමණයි සංගීතය නිර්මාණය කර ඇත්තේ. ඒ ජීවන ගංගා සහ හරියනකොට ඔහොම තමයි යන චිත්‍රපට දෙක. ජීවන ගංගා චිත්‍රපටයේ එන ජයකේලි බන්දන නම් ගීතය අතුලත් වෙන්නේ චිත්‍රපටය තුල එන විජයාවතරණය නම් නාට්‍යයක දර්ශණයකයි. විජය රජු සහ කුවේණිය පළමු වරට ඔවුනොවුන් මුණ ගැසුණු අවස්ථාවේ ඇතිවන සංවාදය මෙයින් නිරූපණය වෙනවා.

මේ ගීතය සරල ශාස්ත්‍රීය ගීතයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. චිත්‍රපටයේ මේ ගීතය ගැයෙන්නේ නර්තනයක් සමගයි. ගීතයේ සංගීත නිර්මාණයේදී නුර්ති ගී ආභාෂය ලබා ඇති බව පෙනෙන්නට තියෙනවා. මේ ගීතයේ අඩංගු ආරම්භක සර්පිනා වාදනය, මද්දලය සහ නාට්‍ය ගමන් තාල යනාදිය නුර්ති ගී වලින් ලැබුණු ආභාෂයන් ලෙස හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම ගීතයේ කුවේණිය ගායනා කරන කොටස් වල තාල වාද්‍ය භාණ්ඩය ලෙස උඩැක්කිය යොදා ගෙන තියෙන්නේ එය දේශීයත්වයේ සංකේතයක් හැටියට.

මේ ගීතයේ පද රචනය කළේ ආනන්ද සරත් විමලවීරයන්. එතුමා සිංහල සංගීත ක්ෂේත්‍රයේ ඉතාම අමරණීය ගීත ගණනාවක් රචනය කල ගීත රචකයෙක්. එතුමා තම වෘත්තීය කටයුතු කලේ ගුවන් විදුලියේ. මේ ගීතයේ කුවේණියගේ රූ සොභාව විස්තර කරන්නට යොදාගෙන ඇති පද වැලත් ඉතාම විශිෂ්ඨයි. ඒ වගේම

සඳකැන් හිරුට දෙමී - අඹර මිහි තලයට රැගෙන එමී

යන පදවලින් කුවේණියට තිබුණා යැයි කියන ගුප්ත බලවේග පිළිබඳවත් කියවෙනවා.

දයාරත්න රණතුංගයන් සමග මේ ගීතය ගායනා කරන්නේ නාලිනී රණසිංහයි.

2. එගොඩහ කන්දේ

තමා පෙම් කරන යුවතිය ලඟට වෙන කිසිවෙක් කිට්ටු වෙලා ඉන්නවා දැක්කොත් පෙම්වතා ඒ ගැන විමසිලිමත් වෙනවා. මේ ප්‍රතිචාරය අජීවී වස්තුවක් වන, ගැමි යුවතියකගේ උකුලෙන් යන කලගෙඩියටත් එසේමයි.

සැලෙන ලෙළෙන උකුළු තලේ - ලිඳට යනෙන වතුර කලේ කළ මහ පින පෙනෙන වෙලේ

එය ඒ වගේ අහිංසක ඊර්ෂ්‍යාවක් වගේම ඉන් එහාට ගිය යුද්ධ ප්‍රකාශ කිරීමක් වෙන්නටත් පුලුවන්.

වතුර කලේ ඇයි උකුල තෙමන්නේ - කාගෙන් අහලද එහෙම කරන්නේ

ඉහත සඳහන් කල ගීත දෙකම ලියා තියෙන්නේ ඩෝල්ටන් අල්විසුන්. එතුමා ලියූ තවත් ගීයකත් මේ ගැන සඳහන් වෙනවා. සනත් නන්දසිරි සංගීතවත් කර ගායනා කරන "එගොඩහ කන්දේ රුවැති එ ලන්දා" ගීතයේයි ඒ.

ඇයගේ හුරතල් උකුලෙන් යනෙනා - වතුර කලේ නොවැ මට වැඩි හපනා

ඩොල්ටන් අල්විසුන් අපේ ගැමි පරිසරය අළලා ගීත ගණනාවක් රචනය කල ගීත රචකයෙක්. අප කලින් සඳහන් කළ සරත් විමලවීරයන් වගේම ඩොල්ටන් අල්විසුනුත් සේවය කලේ ගුවන් විදුලියේ.

3. හුණුවටයේ කතාව - යුදබිමේ ගීතය

හුණුවටයේ කතාව අපේ රටේ ඉතාමත්ම ජනප්‍රියත්වයට පත් වුණු නාට්‍යයක්. හෙන්රි ජයසේනයන් තමයි 1960 දශකයේ අග භාගයේදී මේ නාට්‍යය සිංහලට පරිවර්තනය කර නිෂ්පාදනය කළේ. මේ නාට්‍යයේ ජනප්‍රියත්වයට තවත් හේතුවක් වුණේ පාසල් පෙළ පොතක් හැටියට අපේ දරුවන්ට මේ ක්‍රුතිය අධ්‍යයනය කරන්නට සිදුවීම. ලංකාවේ වැඩිම වාර ගණනාවක් ප්‍රදර්ශණය වූ නාට්‍ය කිහිපයෙන් එකක් මේ නාට්‍යය.

Der Kaukasische Kreidekreis නාට්‍යය ("The Caucasian Chalk Circle" in English) රචනා කල ජර්මානු ජාතික බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් (Bertolt Brecht) හිට්ලර්ගේ ආධිපත්‍යයට විරුද්ධව බොහොම ප්‍රබල ලෙස හඬ නැගූ කෙනෙක්. ඒ නිසාම එතුමාට 1933 දී ජර්මනියෙන් පිට වෙන්නට සිදු වෙනවා හිට්ලර්ගේ පලිගැනීම් වලට බියෙන්. මේ නාට්‍යය ඔහු අතින් නිර්මාණය වෙන්නේ 1940 දී ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රදේශයේදී. මේ පසුබිම නිසා මේ නාට්‍යයේ යුද්ධය සහ එහි කුරිරු කම ගැන විවේචනය කෙරෙනවා.

රජ පවුලක්, යුද්ධය නිසා රජ පවුලෙන් ගිලිහුණු දරුවෙක්, මෙහෙකාරියක් විසින් මේ දරුවා හදා වඩා ගැනීම, අවසානයේදී දරුවාගේ මව ආපසු පැමිණ ඒ දරුවා ඉල්ලීම, වගේ සිදුවීම් තමයි මේ නාට්‍යයේ තියෙන්නේ. මේ කතාව එක්තරා ආකාරයකට අපේ උම්මග්ග ජාතකයේ එන කතාවකට සමාන කරන්නටත් පුළුවන්. කෙසේ වෙතත් හුණුවටයේ කතාව යුද්ධය සහ මිනිස්කම අතර සමබරව දෝලනය වුණ නාට්‍යයක් කියා අපට කියන්නට පුළුවන්.

අප දැන් අහන්නට යන ගීතය නම් කර ඇත්තේ යුදබිමේ ගීතය කියලා. මෙය ගායනය කරන්නේ මානෙල් ජයසේන. නාට්‍යයේ සංගීතය නිර්මාණය කලේ ෂෙල්ටන් ප්‍රේමරත්නයන්. පෙම්වතා යුද්ධයට යන විට පෙම්වතිය ඔහුට කියන්නේ යුද්ධයෙන් ගැලවී ආපසු ඇය දකින්නට එන ක්‍රමයයි.

යුද වදින කල ඔබ ගොස් ඉදිරියෙන් නම් එපා යන්නට පසුපසින් වුව එපා යන්නට ඉදිරියේ ඇත රුදුරු ගිනි කඳ පසුපසින් ඇත කලු දුමාරය යුදබිමේ මද මිස නොයන්නේ උන් ය ආපසු ගෙදර එන්නේ

4. හුණුවටයේ කතාව - සඳෙන් සඳ මෝරත

බර්ටොල්ට් බ්‍රෙෂ්ට් ගේ රංග රීතිය අනුව ඔහු නාට්‍යයක් ඉදිරිපත් කරන්නේ එය නාට්‍යයක් කියන හැඟීම ප්‍රේක්ශකයාට ලබා දෙන ආකාරයට. තදාත්ම විඝටන න්‍යාය (alienation) කියා මේ න්‍යායට කියනවා. විජේරත්න වරකාගොඩ (පූරක) ඇතුලු ගායක කණ්ඩායම මෙය නාට්‍යයක් බව විටින් විට ප්‍රේක්ශකයාට මතක් කර දෙනවා.

අප මීලඟට අහන්නට යන ගීත කොටස් දෙක ගායනා කරන්නේ පූරක සහ ගායක කණ්ඩායම. ඒ ගී වලින් ඔවුන් කියන්නේ යුදයට ගොසින් ආපසු ආ සොල්දාදුවා මුවින් නොකියා සිතින් සිතන දේ.

5. මල් යහනාවකි ලෝකේ

වාණිජ චිත්‍රපට (වට්ටෝරු චිත්‍රපට) බොහොමයක අනිවාර්‍ය අංගයක් වෙලා තිබුණා සමාජ ශාලාවක එන නැටුම් දර්ශනයක්. වට්රෝරු චිත්‍රපටවල පෙම්වතෙක්, පෙම්වතියක්, දුෂ්ඨයෙක් ඉන්නවා. සමාජ ශාලාවල් තියෙනවා. ඒ සමාජ ශාලාවල ගී ගැයෙනවා. සටන් තියෙනවා. පෙම්වතා සහ පෙම්වතිය ගීත ගායනා කරනවා. අවසානයෙදී පෙම්වතිය පැහැර ගෙන යනවා. පෙම්වතා ගිහිල්ලා දුෂ්ඨයන්ගෙන් පෙම්වතිය බේරා ගන්නවා. මේ වට්ටෝරුව තමයි විවිධ ස්වරූපයෙන් අපට වට්ටෝරු චිත්‍රපටවල දකින්නට ලැබුණේ.

1980 දශකයේ ඩොමී ජයවර්ධන විසින් අධ්‍යක්ෂණය කල සිංගප්පූරු චාලි නම් චිත්‍රපටයත් මේ වගේ වට්ටෝරු චිත්‍රපටයක්. ඒ චිත්‍රපටයේ එන සමාජ ශාලා නැටුම් ගීතයක් තමයි "මල් යහනාවකි ලෝකේ" නම් ගීතය. චිත්‍රපටයේ මේ නැටුම් දර්ශනයේ හෙලන් කුමාරි නර්තන ශිල්පිණිය නැටුමක් ඉදිරිපත් කරනවා. එම් එස් ප්‍රනාන්දු චිත්‍රපටයේ රඟපාමින් මේ ගීතය ගායනා කරනවා. ගීතය රචනා කර ඇත්තේ කරුණාරත්න අබේසේකරයන්. සංගීත නිර්මාණය ලුතිතන් ප්‍රේමලාල් දන්වත්ත. එතුමා එවකට නාවුක හමුදා බටහිර තූර්ය වාදක කණ්ඩායමේ ප්‍රධානියා. එතුමා අපේ සංගීත ක්ෂේත්‍රයට විශාල වශයෙන් දායක වෙලා තියෙන ඉතාමත්ම දක්ෂ සංගීතඥයෙක්. විවිධ සංධවනි වගේ දේවල් ගණනාවක් එතුමා ඉදිරිපත් කර තියෙනවා.

6. සතුට සෝකේ

සිංහල සංගීත ක්ෂේත්‍රයේ මහා පර්වතයක් බඳු පුද්ගලයෙක් තමයි එම් කේ රොක්සාමි සංගීතඥයා. එතුමා සංගීතඥයෙක් හැටියටත් වාදකයෙක් හැටියටත් අපට බොහෝ අපූරු දෑ අපට තිලිණ කරලා තියෙනවා. එතුමා වික්ටර් රත්නායකයන්ගේ "ස" ප්‍රසංගයේ වයලීන වාදකයෙක්, චෙලෝ වාදකයෙක් හැටියටත් දස්කම් දක්වලා තියෙනවා. "ස" ප්‍රසංගය අවසානයේ ගැයෙන අපි ඔක්කොම රජවරු ගීතය සියල්ලන්ම එකතුවී ගායනය කරන විට සැක්සෆෝනය වාදනය කලේත් එතුමා.

එතුමා සිංහල චිත්‍රපට සංගීතයට දුන්නු දායකත්වය ඉතාම ඉහලයි. එතුමා අතින් හින්දි ගීත අනුකරණ වගේම ස්වතන්ත්‍ර තනු අනුවත් චිත්‍රපට ගීත රාශියක් නිර්මාණය කරලා තියෙනවා. එතුමා කියා ඇති දෙයක් තමයි, එතුමාගේ වැඩි කැමැත්ත ස්වතන්ත්‍ර නිර්මාණ වලට බවත්, හින්දි ගීත අනුකරණය චිත්‍රපට නිෂ්පාදක වරුන් සහ අධ්‍යක්ෂක වරුන් ගේ බලපෑම නිසා කරන්නට සිදු වූ බවත්.

එතුමා සංගීත අධ්‍යක්ෂණය කල, 1964දී තිර ගත වුණු ධීවරයෝ චිත්‍රපටයට එතුමා ඇතුලත් කල ගීත සියල්ලම ස්වතන්ත්‍ර නිර්මාණ. එතුමා සංගීත අධ්‍යක්ෂණය කල චිත්‍රපට අතරින් එතුමා වැඩියෙන්ම කැමති ධීවරයෝ චිත්‍රපටයට බව එතුමා වරෙක කියා තිබුණා, නිෂ්පාදක වරුන් සහ අධ්‍යක්ෂක වරුන් ගේ බලපෑම් වලින් තොරව එහි සංගීත නිර්මාණ කරන්නට හැකි වූ නිසා.

අප මීලඟට ඉදිරිපත් කරන්නේ මේ චිත්‍රපටයට කරුණාරත්න අබේසේකරයන් රචනා කළ, ලතා වල්පොල ගායනා කළ "සතුට සෝකේ ජය පරාජේ" නම් වූ ගීතය. මේ ගීතයේ අන්තරා කොටස් වල එන

ශෝචනීයයි ජීවිතේ - එනතුරා සැප මාරුතේ

යන කොටසේ මැද ගීතයේ තාලය නතර වෙනවා. සංගීතය යෙදීමේදී හඳුන්වා දී ඇති ඒ විරාමය, ගීතයේ අර්ථයට ඉතාම හොඳින් ගැලපෙනවා.