මියුරස වින්දන 10

මියුරස වින්දන 10

ගීත එකතුව

  1. සුළඟ හමා ළපලු නටයි (පුෂ්පරාණි ආරියරත්න / ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ / එඩ්වින් සමරදිවාකර)
  2. අන්න බලන් සඳ (බෙන් සිරිමාන්න, ට්‍රිලීෂියා ගුණවර්ධන / මහගම සේකර / සෝමදාස ඇල්විටිගල)
  3. විලේ දිලෙන ලප නැති පුන් සඳ සේ (අතුල සෝමසිරි, අමිතා වැදිසිංහ / දයානන්ද ගුණවර්ධන / සෝමදාස ඇල්විටිගල)
  4. ගාලා සුවඳ රස අඳුන් (ඉන්ද්‍රානි පෙරේරා - ත්‍රී සිස්ටර්ස් / මහගම සේකර / සෝමදාස ඇල්විටිගල)
  5. ඔච්චර බලගතු ඔපිසරගේ දුව (එරංග සහ ප්‍රියංග)

1. සුළඟ හමා ළපලු නටයි

manawasinghe-bw2edwin-samaradivakara2

 

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ සහ එඩ්වින් සමරදිවාකර කලාකරුවාණන් දෙදෙනාගේම ගුණ සමරු පසුගිය සතියේ යෙදී තිබුණා.

 

මානවසිංහයන් වෘත්තියෙන් පුවත්පත් කලාවේදියෙක් වුනත් සිංහල සංගීත ක්ෂේත්‍රයට කල සේවය අපමණයි. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් කියන පරිදි

මානවසිංහයන් ගීතය, සංගීතය ආලේප කළ සාහිත්‍ය රචනයක් බවට පත්කිරීම සඳහා තමන්ගේ ගීත කලාව මෙහෙයවූවා. එතෙක් කල් ගීතයේ නාද මාලාවට පමණක් කන් දුන් රසිකයන් ගීතයේ පද මාලාව කෙරෙහිත් ආකර්ෂණය කරන්න ඔහු සමත් වූවා.

එතුමා ගුවන් විදුලිය තුලින් කල වැදගත්ම මෙහෙවර තමයි ගීත නාටක කලාවක් ආරම්භ කිරීම. ගුවන් විදුලියේ මුල්ම ගීත නාටක කිහිපයම රචනා කලේ එතුමා. මනෝහාරී, සෝණ ගං තීරය, උල්පත ඇතුළු ගීත නාටක 15ක් පමණ එතුමා රචනය කර තියෙනවා.

මනෝහාරී සහ සෝණ ගං තීරය ගීත නාටක දෙකේම සංගීත නිර්මාණයට මානවසිංහයන් තෝරා ගත්තේ එඩ්වින් සමරදිවාකරයන්. එතුමා තමයි 1952 දී පත් කෙරුණු ගුවන් විදුලියේ පළමු ස්ථිර වාදක මණ්ඩලයේ ප්‍රධානියා. එතුමා නිර්මාණය කල ගීත අතර දස්කම චිත්‍රපටයට කල ගීත නිර්මාණ (ඉපිද මැරේ, හොඳ කල ආදා, මඩ දියේ පිපුනට, ගොයම් පැසීලා කුඹුරේ) විශේෂයෙන් සඳහන් කරන්නට පුළුවන්. සමරදිවාකරයන් සංගීත නිර්මාණය කල ගීත සංඛ්‍යාව තරමක් සීමිතයි, එතුමා වයස අවුරුදු 43ක්ව තිබියදී 1959 ඔක්තෝබර් 8දා අකල් මරණයට පත් වූ නිසා.

මානවසිංහයන්ගේ සෝණ ගං තීරය ගීත නාටකයට, සමරදිවාකරයන් සංගීත නිර්මාණය කළ, පුෂ්පරාණි ආරියරත්න ගායනා කළ "සුළඟ හමා ළපලු නටයි" ගීතයයි මේ.

2. අන්න බලන් සඳ

එඩ්වින් සමරදිවාකරයන් නායකත්වය දුන් ගුවන් විදුලි වාදක මණ්ඩලයට අලුතෙන් වාදකයන් බඳවා ගත්තා 1958 දී. එයින් එක් වාදකයෙක් තමයි එස්රාජ් වාදකයෙක් හැටියට බැඳුණු සෝමදාස ඇල්විටිගලයන්. 1958 දී එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ කදාවළලු නම් වූ නාට්‍යයකට මේ දෙදෙනාම හවුල් කර ගත්තා. පසු කලෙක ඇල්විටිගලයන් ගුවන් විදුලි වාදක මණ්ඩලයේ ප්‍රධානියා බවටත් පත් වුණා.

ගුවන් විදුලි සරල ගී වලට අමතරව ඇල්විටිගලයන් සංගීතය නිර්මාණය කර තියෙනවා නාට්‍ය සහ චිත්‍රපට විශාල සංඛ්‍යාවකටත්. ඒ අතර පී වැලිකල නිෂ්පාදනය කල කුණ්ඩලකේශී, හෙන්රි ජයසේනයන්ගේ ජනේලය, ගුණසේන ගලප්පත්තිගේ මූදු පුත්තු වගේ නාට්‍යත්, සුදෝසුදු, සත් සමුදුර, බිනරමලී, බක්මහ දීගේ, වෙස් ගත්තෝ, සිහින ලොවක්, වල්මත්වූවෝ, වැලිකතර වගේ චිත්‍රපටත් විශේෂයෙන් සඳහන් කරන්නට පුළුවන්. සත් සමුදුර චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් එතුමාට 1967 දී සරසවි සම්මානය හිමි වුණා.

මහගම සේකරයන් විසින් රචනා කළ, පී වැලිකල නිෂ්පාදනය කල කුණ්ඩලකේශී නාටකයේ එන අන්න බලන් සඳ ගීතය එතුමාගේ නාට්‍ය ගීත අතරින් වඩාත්ම ජනප්‍රිය ගීතය හැටියට හඳුන්වන්නට පුළුවන්. මේ ගීතය නාට්‍යයේ ගයන්නේ කුණ්ඩලකේශී කුමාරිය සහ ඇය පෙම් බැඳි සොර දෙටුවා වනය මැදින් යන ගමන්.

අත් පසුරෙන් තුරු පෙම්බරයන් බඳ බන්දා සෙනේ සිතිනී ලිය වැල් පැටලී ගොසිනී

මේ ගීතය මනමේ නාටකයේ එන ප්‍රේමයෙන් මනරංජිතවේ ගීතයට බොහොම සමානත්වයක් දක්වනවා.

ආලයෙන් වෙලි සැදී මේ ලතා මණ්ඩපයෙන් චන්ඩාතප ඛණ්ඩිත වේ හිරු රජිඳුගෙ

මේ ගීතය ගායනා කරන්නේ බෙන් සිරිමාන්න සහ ට්‍රිලීෂියා ගුණවර්ධන. මනමේ නාටකයේ එන ප්‍රේමයෙන් මනරංජිතවේ ගීතයත් ඒ කාලයේ ගායනා කලේ ඒ දෙදෙනා.

3. විලේ දිලෙන ලප නැති පුන් සඳ සේ

සෝමදාස ඇල්විටිගලයන් සංගීත නිර්මාණය කල චිත්‍රපට අතර විශේෂ චිත්‍රපටයක් තමයි දයානන්ද ගුණවර්ධනයන් අධ්‍යක්ෂණය කල බක්මහ දීගේ චිත්‍රපටය. දයානන්ද ගුණවර්ධනයන් මෙය මුලින් නිර්මාණය කලේ නාට්‍යයක් හැටියට - බක්මහ අකුණු නමින්. මේ නාට්‍යය The marriage of Figaro නම් වූ ප්‍රහසනාත්මක ප්‍රංශ නාට්‍යයේ සිංහල අනුවාදයයි. නමුත් ඒ නාට්‍යයේ එක දර්ශනයක් පමණයි වේදිකා ගත වුනේ. නාට්‍යයේ තිබුණු ගීත 14න් 9ක් චිත්‍රපටයට ඇතුලත් වෙනවා. කන්ද උඩින් හඳ පායන ලීලා, බක්මහටයි ගොඩ වැස්ස වහින්නේ, මලකින් මලකට, ආදර හැඟුම්, දියට නැමුණ මල් වගේ ඉතාම මිහිරි ගීත මේ චිත්‍රපටයට ඇල්විටිගලයන් නිර්මාණය කළා. මීට වඩා වැඩි ගීත ප්‍රමාණයක් අඩංගු වෙනත් සිංහල චිත්‍රපට තිබුණත් මෙතරම් ගුණාත්මක ගීත සංඛ්‍යාවක් අඩංගු වුණ චිත්‍රපටයක් තවත් නැති තරම්.

මේ චිත්‍රපටයේ එන ගීත අතුරින් නිතර අහන්නට නොලැබෙන ගීයක් මේ. එය චිත්‍රපටයේ මුදලිතුමා තම සේවිකාවක වන පබුලිනාට ආදරය පළ කරන ගීතයක්. මුදලිතුමා පබුලිනා ලප නැති සඳකට සමාන කරනවා. නමුත් පබුලිනා මුදලිතුමාට කියන්නේ ලප නැති සඳට ලප දෙන්නට එපා කියලයි. ගීතය ගායනා කරන්නේ අතුල සෝමසිරි සහ අමිතා වැදිසිංහ.

4. ගාලා සුවඳ රස අඳුන්

sath-samuduraසෝමදාස ඇල්විටිගලයන් සත් සමුදුර චිත්‍රපටයට කළ සංගීත නිර්මාණ වල සාර්ථකත්වයෙන් පසු දිසානායක චිත්‍රපට සමාගම විසින් ඊට පසුව නිෂ්පාදනය කල චිත්‍රපට සියල්ලේම සංගීත අධ්‍යක්ෂණයට තෝරා ගැනුණේ සෝමදාස ඇල්විටිගලයන්. මේ බොහොම ගීත පෙරදිග සංගීත සම්ප්‍රදායට අනුව නිර්මාණය වුන ගීත. නමුත් එතුමාගේ පසු කාලීන චිත්‍රපට ගීත කිහිපයක් පමණක් ගීතය චිත්‍රපටයේ එන අවස්ථාවට ගැලපෙන ලෙස අපරදිග සංගීත සම්ප්‍රදායට අනුව නිර්මාණය වී තියෙනවා. අඩවන් දෑසින් පවසනු රහසින් (වික්ටර් රත්නායක / වෙස්ගත්තෝ), අවදි වෙයන් අවදි වෙයන් (වික්ටර් රත්නායක / සිහින ලොවක්) ඒ වගේ ගීත කිහිපයක්.

සිහින ලොවක් චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ සත් සමුදුර චිත්‍රපටයේ විශිෂ්ඨ රංගනයක් ඉදිරිපත් කල සිරිල් වික්‍රමගේ මහතා. එහි ගීත සියල්ලම රචනා කලේ මහගම සේකරයන්. මේ චිත්‍රපටයට ඉන්ද්‍රානි පෙරේරා ඇතුළු ත්‍රී සිස්ටර්ස් කණ්ඩායම ගායනා කල ගාලා සුවඳ රස අඳුන් ගීතයයි මේ.

5. ඔච්චර බලගතු ඔපිසරගේ දුව එල්ලිල මැරුණනෙ පොඩි නෝනෝ

eranga-priyangaබටහිර සංගීත ආරට ගැයුණු ගීත එක්තරා කාලයක ගුවන් විදුලියේ ප්‍රචාරය තහනම් වුණා. බටහිර සංගීතයේ භාවිතා වන ගිටාර්, ක්ලැරිනට් වගේ භාණ්ඩ අපේ ගීත වලට යොදා නොගත යුතුයි කියා සමහර විද්වතුන් කීවා. ඒ වගේ තහනම් වූ එක ගීතයක් තමයි එරංගා සහ ප්‍රියංග ගායනා කරන ඔච්චර බලගතු ඔපිසරගේ දුව ගීතය. මේ ගීතය තහනම් වූ බව සහ ඒ පිලිබඳ කලකිරීමෙන් එරංගා සහ ප්‍රියංග රට අත්හැර ගිය බව ක්ලැරන්ස් විජේවර්ධන කියූ බව සඳහන් වෙනවා පරාක්‍රම කොඩිතුවක්කුගේ "ක්ලැරා" කෘතියේ. නමුත් මේ ගීතය තහනම් වීමට හේතුව එවකට පැවති රජයේ උසස් නිලධාරියෙකුගේ දියණියක් සිය දිවි නසාගැනීම සහ මේ ගීතයෙන් ඒ පිළිබඳව සඳහන් කරතැයි යන සැකය යන්න තවත් මතයක්.

එරංගා සහ ප්‍රියංග වෘත්තිය ගායනයට පිවිසෙන්නේ අහම්බෙන්. මෙරට සිට ආපසු යන එරංගාගේ පියාගේ විදේශීය හිතවතෙකුට රැගෙන යන්නට ගීත කිහිපයක් ගායනා කරන්නට ඔවුන් ලුවිස් බ්‍රවුන් ශබ්දාගාරයට යනවා. එතැනදී ඔවුන් ගීත ගායනා කරනවා අසා සිටි ජෙට්ලයිනර්ස් ගායක කණ්ඩායමේ කළමනාකරු ටෝනි ප්‍රනාන්දු ඔවුන් දෙදෙනාට ආරාධනා කරනවා ගාලු මුවදොර හෝටලයේ (Galle Face Hotel) ගීත ගායනා කරන්නට.

මේ ගීතය ජන ප්‍රවාදයක් ඇසුරෙන් නිර්මාණය වී තිබෙනවා. මේ ගීය මුලින් ගායනා කර තිබෙන්නේ සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් වෙන වෙනම, ටවර් හෝල් යුගයේදී. ඒ එරංගා වීරසිංහ මහත්මියගේ පියා වන ලෙනාඩ් වීරසිංහ සහ ලක්ෂ්මී බායි විසින්.