මියුරස වින්දන 11
ගීත එකතුව
- සොඳුර නුඹ මට මවු වෙයන් (වික්ටර් රත්නායක / ගාමිණී ෆොන්සේකා / වික්ටර් රත්නායක)
- පරවුණු මල් වල (සුජාතා අත්තනායක / මහගම සේකර / ලයනල් අල්ගම)
- නරි බෑනෝ මේ අහන්න (ලයනල් අල්ගම, ට්‍රිලීෂියා ගුණවර්ධන / දයානන්ද ගුණවර්ධන / ලයනල් අල්ගම)
- අහසට පිඹිනා එරන් කලේයා (ලා බම්බාස් La Bambas ගායක කණ්ඩායම)
- වෙහෙසවෙලා දුරු කතර ගෙවා (ප්‍රියා සූරියසේන / * / *)
1. සොඳුර නුඹ මට මවු වෙයන්
සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ ගුණ සමරුව සැප් 30 යෙදී තිබුණා. ප්‍රමාද වී හෝ ඒ ගැන සඳහන් කිරීම කලයුතුයි කියා සිතුවා. චිත්‍රපට රංගනයෙන්, අධ්‍යක්ෂණයෙන් කල දස්කම් වලට අමතරව එතුමා ගීත රචනයෙනුත් දස්කම් පෙන්වා තියෙනවා.
එතුමා හෙළ බස පිලිබඳ විශාල උනන්දුවක් දක්වූ කෙනෙක්. එතුමා ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේදී සිංහල භාෂාව ඉගෙනගෙන තිබෙන්නේ අරිසෙන් අහුබුදු ශූරීන්ගෙන්. ඒ නිසා එතුමා මුනිදාස කුමාරතුංගයන් ආරම්භ කල සිංහල භාෂා ප්‍රබෝධයේ සාමාජිකයෙක් කියා කියන්නට පුළුවන්. එතුමා කිහිප වරක්ම කියා තිබෙනවා අරිසෙන් අහුබුදු ශූරීන්ගෙන් සිංහල භාෂාව ඉගෙනගන්නා කාලයේදී සිංහල භාෂාව සහ නිර්මාණාත්මක රචනය පිලිබඳ විශාල ආශාවක් ඇතිවුණා කියලා. ඒ නිසා තමයි එතුමා ඉඳහිට කවි ලියලා තියෙන්නේ. පසුව ඒ කවි ඇසුරෙන් තමයි එතුමා ගීත රචනයට පෙළඹිලා තියෙන්නේ.
අහිමි වුනත් නුඹ ලඳේ (වික්ටර් රත්නායක), බමරිඳු බමරිඳු කුමට වඩින්නේ (නන්දා මාලිනී / ඩබ් ඩී අමරදේව) සහ තවත් වික්ටර් රත්නායකයන් ගයන අප්‍රකට ගීත කිහිපයක්ම එතුමා රචනා කර තියෙනවා. සොඳුර නුඹ මට මවු වෙයන් ගීතය ඒ අතරින් විශේෂ ගීතයක්. අපිට බොහෝ විට ඇහෙන්නේ සැමියෙක් තම බිරිඳ මතු අත් භවයේදීත් තම බිරිඳ වෙන්නට පතන එකයි. නමුත් මේ ගීතයේ සැමියා කියන්නේ තම බිරිඳ මතු අත් භවයක තම මවු වෙන්නට කියලයි.
බිරිඳ වී මගෙ වින්ද දුක් ගිනි
නිවා ලන්නට පවු ගෙවන්නට
මේ ගීතයේ පද ස්වල්පයයි තියෙන්නේ. නමුත් කියන්නට තියෙන සියලු දේ ඒ පද කිහිපයෙන් කියා තියෙනවා.
ගීතයේ සංගීතයත් බොහොම අල්පේච්ඡයි. සාමාන්‍යයෙන් වික්ටර් රත්නායකයන් තරමක විශාල වාදක මණ්ඩලයක් යොදාගන්නවා. වික්ටර් රත්නායකයන්ගේ ගීත මුල් කාලයේ ගුවන් විදුලියේ පටිගත කල ගුණදාස කපුගේ වරෙක කියා තිබුණා "මල්සර උක්දඬු දුන්නෙන් පැණි බී" ගීතය පටිගත කරන්නට ගුවන් විදුලියේ හැම මැදිරියකම තිබුණු මයික්‍රපෝන ගෙනෙන්නට වුනා කියලා. නමුත් මේ ගීතයේ තනි වයලීනය සහ බටනලාව පමණයි යොදා ගෙන තියෙන්නේ. මේ වයලීන හඬ සහ බටනලා හඬ වික්ටර් රත්නායකයන්ගේ ගීත විශාල ප්‍රමාණයක් ඔපවත් කල එම් කේ රොක්සාමිගේ වයලීන හඬ සහ එම් ඩබ් පීරිස් ගේ බටනලා හඬයි.
2. පරවුණු මල් වල
ගාමිණී ෆොන්සේකා මහතා අධ්‍යක්ෂණය කල මුල්ම චිත්‍රපටය පරසතු මල් චිත්‍රපටයයි. මේ චිත්‍රපටය අපේ සිනමාවේ වැදගත් සැතපුම් කණුවක්. මේ චිත්‍රපටයේ ගීතත් මා හිතන්නේ සිංහල ගීතයේ වැදගත් සැතපුම් කණු. අමරදේවයන් ගයන සඳකත් පිණි දිය සහ සුජාතා අත්තනායක ගයන පරවුණු මල් වල යන ගීත දෙකම අතිශය සාර්ථක භාවාත්මක ගීත, පරවුණු මල් වල ගීතය දරු නැලවිලි ගීතයක් කියා අපට අමතක වන තරමටම. මේ චිත්‍රපටයේ සංගීතය ලයනල් අල්ගමයන්ගේ. එතුමාගේ ශාස්ත්‍රීය සංගීතය පිළිබඳව ඇති ප්‍රබල ඇල්ම සහ පරිචය මේ ගීත වලින් පැහැදිලිව පෙනෙනවා. මහගම සේකරයන්ගේ ගී පද වලට අර්ථය උපරිම ලෙස උකහා ගෙන ඒවා තවත් වර්ණවත් කරන්නට ලයනල් අල්ගමයන් සහ ගීත ගැයූ අමරදේවයන් සහ සුජාතා අත්තනායක සමත් වී තියනවා.
3. නරි බෑනෝ මේ අහන්න
ලයනල් අල්ගමයන් චිත්‍රපට වගේම නාට්‍ය කිහිපයකටත් සංගීතය නිර්මාණය කළා. එවන් එක නාට්‍යයක් තමයි දයානන්ද ගුණවර්ධනයන් රචනා කර 1961දී වේදිකා ගත කළ නරි බෑනා නාට්‍යය. මේ නාට්‍යය වසරක් ඇතුලත සියක් වාරයකටත් වඩා වේදිකා ගත වුනා.
දයානන්ද ගුණවර්ධනයන් නරි බෑනා නාට්‍යය අපේ ජන කතාවක් ආශ්‍රයෙන් තමයි නිර්මාණය කර තියෙන්නේ. එතුමාගේ නාට්‍ය එකකට එකක් වෙනස්. මධුර ජවනිකා, ආනන්ද ජවනිකා, සහ ගජමන් පුවත විවිධ විෂයයන් ඔස්සේ දීර්ඝ කාලීනව කරන ලද පර්යේෂණයන්ගේ ප්‍රතිපල. ඒ නිසා මේ නාට්‍ය අපේ සිංහල නාට්‍ය ක්ෂේත්‍රයේ නොමැකෙන සිහිවටන තබන්නට පුළුවන් නාට්‍ය බවට පත් වෙලා තියෙනවා. නරි බෑනා නාට්‍යය අදත් වේදිකා ගත වෙනවා.
දයානන්ද ගුණවර්ධනයන් නරි බෑනා නාට්‍යයේ ගීත සියල්ලම රචනා කර ඇත්තේ අපේ රබන් පද ආශ්‍රයෙන්. ප්‍රකට රබන් පදයක් වන
බොලං පොඩි නංගි ටිකක් හිටපං
බුලත් විට කන්ඩ ටිකක් හිටපං
ආශ්‍රයෙන් නිර්මාණය වුනු "නරි බෑනෝ මේ අහන්න" ගීතයයි අපි මීළඟට අහන්නට යන්නේ. මේ ගීතයේ එන දෙබස් ඛණ්ඩ වලින් අපේ ගැමි සංස්කෘතිය සහ ගැමි කතාබහ මැනවින් නිරූපණය වෙනවා. නරි බෑනාගේ උජාරුව පෙන්නුම් කරන
වැඩක් කර ගන්න - උදවුවට ගන්න
කෙනෙක් අරගන්න - තමයි මම ඉන්නේ
ගී පද විශේෂයෙන් සඳහන් කරන්නට පුළුවන්.
මේ ගීතය ගායනා කරන්නේ ලයනල් අල්ගම, ට්‍රිලීෂියා ගුණවර්ධන ඇතුළු පිරිස.
4. අහසට පිඹිනා එරන් කලේයා
රබන් පද වගේ අපේ ජන සංගීතය පෝෂණය කල තවත් දෙයක් තමයි කලගෙඩි නැටුම. මේ කලගෙඩි නැටුම ආශ්‍රයෙන් කණ්ඩායම් ගීතයක් නිර්මාණය කර තියෙනවා 1960-70 දශක වල ජනප්‍රිය ගායක කණ්ඩායමක් වුණු ලා බම්බාස් ගායක කණ්ඩායම. මේ ගීතයේ කැපී පෙනෙන විශේෂත්වයක් තමයි ගිටාරය සහ shaker වලට අමතරව, සාමාන්‍යයෙන් කණ්ඩයම් ගීත වල භාවිතා නොවෙන තාලම් පොට, වයලීන්, ක්ලැරිනට්, බටනලා වගේ දේශීය සංගීත භාණ්ඩ බොහොමයක් භාවිතා වී තිබීම.
සූරිය ලේබලයෙන් නිකුත් වුණ ලා බම්බාස් කණ්ඩායමේ ගී තැටියක මේ ගීතය අඩංගුයි.
5. වෙහෙසවෙලා දුරු කතර ගෙවා
අපේ ජන සංගීතයේ තවත් වැදගත් කොටසක් තමයි කරත්ත කවි. කරත්ත කවි සහ කරත්ත කරුවන්ගේ ජීවිතය ආශ්‍රයෙන් නිර්මාණය වුණු ගීත ගණනාවකුත් තියෙනවා.
බර බාගේ - සී ටී ප්‍රනාන්දු
කරදර පොදි බැඳ - අමරදේවයන්
ගමන දුර නිසයි - ආනන්ද සමරකෝන්
හිමිදිරියේ හිරු එලියට - දයාරත්න රණතුංග
කරත්ත කරුවන්ට නිවසින් ඈත්ව දින සති ගණන් ඉන්නට වෙනවා. ඒ අතර ඔවුන්ට නිතැතින්ම නිවස සහ අඹු දරුවන් මතක් වෙනවා.
කිරිගල් පොත්තේ කන්ද නගින විට
ගම සිටිනා නුඹ සිතේ නැගෙනවා
එකෙන් ගමනට දිරිදෙනවා
අපි මීළඟට අහන්නේ ප්‍රියා සූරියසේන ගායනා කල තරමක් අප්‍රකට ගීයක්. මේ ගීතයෙන් කියවෙන්නේ දුරු කතර ගෙවා තෑගි බෝග අරගෙන තම බිරිඳ බලන්නට නොඉවසිල්ලෙන් එන කරත්ත කරුවෙක් ගැනයි. මේ ගීතයේ එන එක් යෙදුමක් තරමක් වෙනස්
අයගේ සීතල පහස ලබන්නට
තව කොපමණ දුර යන්නද නොදැනේ
සාමාන්‍යයෙන් අපට ඇහෙන විදිහට ලිව්වා නම් මේ පද "ඇයගේ උණුසුම් පහස ලබන්නට" කියා ලියවෙන්නට තිබුණා. නමුත් "සීතල පහස" කියන යෙදුමෙන් රාගය ඉක්මවා යන බිරිඳගේ ආදරය කරුණාව ලබන්නට ඔහු නොඉවසිල්ලෙන් ඉන්න හැටි ඉතාමත් සිත් ගන්නා ආකාරයට කියවෙනවා.