මියුරස වින්දන 14

මියුරස වින්දන 14

ගීත එකතුව

  1. රන් බෝපත් සැලෙන හඬින් (පණ්ඩිත් අමරදේව / වේහැල්ලේ පියතිලක / සරත් දසනායක)
  2. මල් වයසේ මධු සිහිනේ (වික්ටර් රත්නායක, එම් එස් ප්‍රනාන්දු, එච් ආර් ජෝතිපාල / සෝමපාල ලීලානන්ද / සරත් දසනායක)
  3. සීතලේ වෙළී (ඉන්ද්‍රාණි පෙරේරා / ප්‍රේමකීර්ති ද අල්විස් / සරත් දසනායක )
  4. දම් පැහැ වීදුරු ( චන්ද්‍රාණි ගුණවර්ධන / අජන්තා රණසිංහ / සරත් දසනායක )
  5. සඳ එළිය ගඟක් වී ( නන්දා මාලිනී / සුනිල් ආරියරත්න / සරත් දසනායක )

1. රන් බෝපත් සැලෙන හඬින්

amaradeva-gemtoneසිංහල සංගීත ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වූ සරත් දසනායකයන් ගේ ගුණ සමරුව පසුගිය 17දාට යෙදී තිබුනා. 1963 ආර් මුත්තුසාමි සංගීතය සැපයු උඩරට මැණිකේ සිනමාපටයෙන් එතුමා සිනමා සංගීතයට පිවිසුණා සිතාර් වාදකයෙකු ලෙස. 1967දී ප්‍රේමසිරි කේමදාසයන් සංගීත අධ්‍යක්ෂණය කළ රැන ගිරව් චිත්‍රපටයේ සහාය සංගීත අධ්‍යක්ෂ වරයකු හැටියටත් එතුමා කටයුතු කළා. (සිළුමිණ පුවත් පතින්).

සරත් දසනායකයන්ගේ මුල්ම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය ‘සිතිජය’ චිත්‍රපටයයි. ඒ 1972දී. සරත් දසනායකයන්ට ඒ අවස්ථාව ලැබෙන්නේ නාට්‍ය රචකයෙකු සහ නිශ්පාදකවරයෙකු වූ වේහැල්ලේ පියතිලකයන්ගේ මැදිහත්වීමෙන්. 1968 දී වේහැල්ලේ පියතිලකයන් අතින් රචනා වූ තිරනාටකයක් අනුව ‘සිතිජය’ චිත්‍රපටය නිෂ්පාදනය වුණා. w-piyathilaka එවකට නම ගිය සංගීත අධ්‍යක්ෂවරයකුට එහි සංගීතය භාර දීමට නිෂ්පාදකවරයාට අවශ්‍ය වුන නමුත් වේහැල්ලේ පියතිලකයන් සරත් දසනායකයන් ගේ ගීත නිර්මාණ වාදනය කර ඔහුට අහන්නට සැලැස්වනවා. ඉන් පසු නිෂ්පාදක තුමා කැමති වෙනවා සරත් දසනායකයන් තෝරාගන්නට. සරත් දසනායකයන් ගේ මුල්ම චිත්‍රපට ගීතය වූ මේ "රන් බෝපත්" ගීතය ගැයුවේ අමරදේවයන්. ගීතය රචනා කලේ වේහැල්ලේ පියතිලකයන්මයි. (මේ විස්තර සැපයූ වේහැල්ලේ පියතිලකයන්ට බෙහෙවින්ම ස්තූතියි).

මේ ගිතයේ සංගීතය තුල කේමදාසයන්ගේ සංගීතයේ ආභාෂය අපට දකින්නට පුළුවන් - එය අපට තේරුම් ගන්නට පුළුවන් සරත් දසනායකයන් ඒ වනවිට කේමදාසයන් සමග සැහෙන කාලයක් සිතාර් වාදකයකු සහ සහාය සංගීත අධ්‍යක්ෂක වරයෙක් ලෙස කටයුතු කර තිබූ නිසා. නමුත් ඒ අතරින් සරත් දසනායකයන් ගේ සංගීතමය අනන්‍යතාවයේ අංකුරත් මේ ගීතයේ දකින්නට පුලුවන්. එතුමාගේ පසුකාලීන නිර්මාණ වූ නන්දා මාලිනිය ගායනා කරන පිණිදියෙන් විකසිතව, නිම් වලල්ලෙන් එපිට සඳ රැස් වගේ ගීත වල එන සංගීත ඛණ්ඩ වල ඡායාවනුත් අපට මේ ගීයේ දකින්නට පුළුවන්.

2. මල් වයසේ මධු සිහිනේ

සිතිජය චිත්‍රපටය සරත් දසනායකයන් ගේ මුල්ම චිත්‍රපටය වුණත්, චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස එතුමා වඩාත් ප්‍රසිද්ධ වුණේ ‘සදහටම ඔබ මගේ’ ‘සදහටම ඔබ මගේ‘, ‘කස්තුරි සුවඳ’, ‘නිල්ල සොයා' වගේ චිත්‍රපට වලින්. විශේෂයෙන්ම කස්තුරි සුවඳ චිත්‍රපටයට සරත් දසනායකයන් නිර්මාණය කල ගීත සියල්ලම වගේ ජනප්‍රිය ගීත බවට පත් වුනා. ‘පාට පොදක් තිලක ලා’, ‘මල් වයසේ මධු සිහිනේ’, ‘හද විමන් දොරින්’, ‘ලස්සන ලෝකෙක ඉපදිලා’ තමයි ඒ ගීත. මේ චිත්‍රපටයේ කතාව, දෙබස්, තිරනාටකය සග සියළුම ගීත රචනා කළේ සෝමපාල ලීලානන්දයන්. වික්ටර් රත්නායක, එම් එස් ප්‍රනාන්දු සහ එච් ආර් ජෝතිපාලයන් තමයි මේ ගීතය ගායනා කරන්නේ.

3. සීතලේ වෙළී

duhulu-malak1994 නොවැම්බර් 17 දින අප අතරින් වෙන්ව ගිය ප්‍රවීණ සිනමාකරුවකු වූ විජය ධර්ම ශ්‍රී සිහිකරමින් එතුමාගේ චිත්‍රපටයක අඩංගු වුණ ගීතයක් මීළඟට. විජය ධර්ම ශ්‍රී සිනමාවට සම්බන්ධ වුණේ නවකයන් රැසක් බිහිවූ ‘හන්තානේ කතාව‘ චිත්‍රපටයෙන්. ඔහු එහි දෙබස් රචක හා සහාය අධ්‍යක්ෂවරයා වුණා. දුහුළු මලක් විජය ධර්ම ශ්‍රීගේ මුල්ම වෘත්තාන්ත චිත්‍රපටයයි. ‘දුහුළු මලක්’ නියත වශයෙන්ම සිංහල සිනමාවේ සුවිශේෂ චිත්‍රපටයක්. ‘දුහුළු මලක්’ ගැන රෙජි සිරිවර්ධන කියා සිටියේ ‘රේඛාව‘ හා ‘අහස් ගව්ව‘ යන චිත්‍රපට දෙකෙන් පස්සේ නව අධ්‍යක්ෂවරයකු අතින් නිමැවුණු පළමුවැනි විශිෂ්ටතම චිත්‍රපටය වශයෙන්. එසේම ආචාර්ය තිස්ස අබේසේකර කියා තිබුණේ තරුණ සිංහල සිනමා පරම්පරාව වෙතින් එළිදුටු විශිෂ්ටතම නිර්මාණය යයි නොපැකිළව සඳහන් කළ හැකි බවයි. (සිළුමිණ පුවත් පතින්)

දුහුළු මලක් චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කලේ සරත් දසනායකයක්. එහි ඉතාම විශිශ්ඨ ගණයේ ගීත කිහිපයක්ම අඩංගු වුණා - බොඳ මීදුම් කඳුරැල්ලේ (අබේවර්ධන බාලසූරිය/ සුජාතා අත්තනායක), රන් කෙන්දෙන් බැඳ (නන්දා මාලිනී), රෝමය ලෙසේ (මිල්ටන් මල්ලවාරච්චි), සීතලේ වෙලී (ඉන්ද්‍රානි පෙරේරා). මේ වනවිට සරත් දසනායකයන්ගේ චිත්‍රපට ගීත අතුරින් ජනප්‍රිය වී තිබුණේ වාණිජ චිත්‍රපට වල ගීතයි. ඒ චිත්‍රපටවල ගීත වලට වඩා වෙනස් ගීත තමයි මේ චිත්‍රපටයට ඇතුලත් වුනේ. මේ ඉන්ද්‍රාණි පෙරේරා ගායනා කරන සීතලේ වෙළී ගීතයයි. එය රචනා කළේ ප්‍රේමකීර්ති ද අල්විස්.

4. දම් පැහැ වීදුරු

chandrani-gunawardena-thun-thumba-malසරත් දසනායකයන් ගැන සඳහන් වෙන බොහොම අවස්ථාවල එතුමාගේ චිත්‍රපට නිර්මාණ ගැන තමයි වැඩියෙන් කතා කෙරෙන්නේ. නමුත් එතුමා ගුවන් විදුලිය තුලත් ඉන් පිටතත් සරල ගීත විශාල ප්‍රමාණයකුත් නිර්මාණය කර තියෙනවා. ගුවන් විදුලියේ එතුමා නිර්මාණය කල ගීත අතුරින් අබේවර්ධන බාලසූරිය සහ ත්‍යාගා එන් එඩ්වඩ් ගායනා කරන රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ ගිතය අපට විශේෂයෙන් සඳහන් කරන්නට පුළුවන්. අජන්තා රණසිංහයන් රචනා කළ, චන්ද්‍රාණි ගුණවර්ධන මහත්මිය ගායනා කරන දම් පැහැ වීදුරු පුංචි වළල්ලක් ගීතය එතුමා සංගීතය නිර්මාණය කළ නිතර නෑසෙන ගීතයක්. බිඳී ගිය ප්‍රේමයක සිහිවටනයක් වූ වීදුරු වලල්ලක් ගැන කියවෙන මේ ගීතය අජන්තා රණසිංහයන් ගේ විශිෂ්ඨතම ගීත රචනා වලින් එකක්. මෙය ගුවන් විදුලි සරල ගීයක්. අපි මේ ඉදිරිපත් කරන්නේ චන්ද්‍රාණි ගුණවර්ධන මහත්මියගේ තුං තුඹ මල් කැසට් පටයේ අඩංගු වූ මේ ගිතයේ පටිගත කිරීමයි.

5. සඳ එළිය ගඟක් වී

pawanaසරත් දසනායකයන් නන්දා මාලිනිය වෙනුවෙන් නිර්මාණය කළ මුල්ම ගීතය හැටියට අපට හමුවෙන්නේ විශ්මය චිත්‍රපටයේ එන අමරදේවයන් සහ නන්දා මාලිනිය ගායනා කරන "සංසාරය සංසාරය - අන්ධකාර සංසාරය" නම් ගීතයයි. නමුත් ජනප්‍රිය වුණු මුල්ම ගීතය තමයි දුහුළු මලක් චිත්‍රපටයේ රන් කෙන්දෙන් බැඳ ගීතය. ඉන් පසු එතුමා නන්දා මාලිනිය චිත්‍රපට විශාල ප්‍රමාණයක ගීත ගායනය සඳහා යොදාගෙන තියෙනවා. එයා දැන් ලොකු ළමයෙක් චිත්‍රපටයේ පිණිදියෙන් විකසිතව ගීතය ඒ අතරින් විශේෂයෙන් සඳහන් කරන්නට පුළුවන්. නන්දා මාලිනියගේ ගුවන් විදුලි සරල ගී වැඩසටහන්, ගී තැටි, කැසට් පට සහ සංගත තැටි වල ගීත වලටත් එතුමා සංගීතය නිර්මාණය කළා. පවන නම් වූ එතුමියගේ දෙවන ඒක පුද්ගල සංගීත ප්‍රසංගයේ අඩංගු වුණු එකම ප්‍රේම ගීතය වු සඳ එළිය ගඟක් වී ගීතයේ සංගීතය නිර්මාණය කළේත් සරත් දසනායකයන්. මේ ගීතය රචනා කළේ සුනිල් ආරියරත්නයන්. සරත් දසනායකයන් සාමාන්‍යයෙන් විශාල වාදක මණ්ඩලයක් යොදාගන්නවා එතුමාගේ ගීත වලට. නමුත් මේ ගීතයට එතුමා යොදාගන්නේ භාණ්ඩ ස්වල්පයයි. බටනලාව, තනි වයලීනය, සිතාරය, ග්ලොකන්ස්පීල් පමණයි යොදා ගෙන තියෙන්නේ. ඊට අමතරව නිහාල් සී ජයවර්ධන හෙවත් “විස්ලිං නිහාල්“ ගේ උරුහම් හඬත් මේ ගීතයට යොදාගෙන තියෙනවා. බටනලාව වාදනය කරන්නේත් නිහාල් සී ජයවර්ධනමයි. මෙහි තනි වයලීනය වාදනය කරන්නේ පවන ප්‍රසංගයේ විශාල බරක් ඉසිළූ සුනිල් දයානන්ද කෝනාරයන්ගේ.