මියුරස වින්දන 5
ගීත එකතුව
- මේ ලෝ තලයේ (ධර්මදාස වල්පොල, ලතා වල්පොල / ධර්මසිරි ගමගේ / ප්‍රේමසිරි කේමදාස)
- සරා සොඳුරු (වික්ටර් රත්නායක, නන්දා මාලිනී / මහගම සේකර, සුගතපාල සෙනරත් යාපා / ප්‍රේමසිරි කේමදාස)
- කැකුළු මලක (එච් ආර් ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක / ප්‍රේමකීර්ති ද අල්විස් / ප්‍රේමසිරි කේමදාස)
- මහගෙදර බිත්ති වල (නිර්මලා රණතුංග / ප්‍රේමකීර්ති ද අල්විස් / එච් එම් ජයවර්ධන)
- දිසාපාමොක් ඇදුරු තුමනි (ටී එම් ජයරත්න / උපාලි ධනවලවිතාන / සරත් දසනායක)
1. මේ ලෝ තලයේ
ප්‍රේමසිරි කේමදාසයන් තම සංගීත නිර්මාණ සඳහා වැඩිපුර ආභාෂය ලැබුවේ බටහිර සම්භාව්‍ය සංගීතය සම්ප්‍රදායෙන්. එහි එන සංධවනි (Symphonies), නාද කාව්‍ය (Tone Poem), ඔපෙරා (Opera) වගේ නිර්මාණ ක්‍රම අපේ සිංහල සංගීතයට හඳුන්වා දුන්නා. එතුමා පෙරදිග උත්තර භාරතීය සංගීත සම්ප්‍රදාය ගැන බොහෝ විට කතා කලේ විවේචනාත්මකවයි. නමුත් 1960 දශකයේ එතුමා උත්තර භාරතීය සංගීතයේ එන රාග ආශ්‍රිතව සංගීතය නිර්මාණය කර තියෙනවා නවරැල්ල නම් වූ මුද්‍රා නාටකයකට.
නවරැල්ල මුද්‍රා නාටකයේ අරමුණ වුනේ උත්තර භාරතීය රස විවරණයේ එන නව නළු රසයන්, ගී පද, සංගීතය සහ නර්තනයන් මගින් වේදිකාවේ නිරූපණය කිරීමයි. මෙහි කරුණා රසය නිරූපණය කරන්නට කළ නිර්මාණය පීලූ රාගය ආශ්‍රයෙන් අම්මා ගැන නිර්මාණය වූ සරල ශාස්ත්‍රීය ගීයක්. මේ ගීතය ගායනා කරන්නේ ධර්මදාස වල්පොල සහ ලතා වල්පොල. නවරැල්ල මුද්‍රා නාටකයේ සියළුම ගී පද රචනය කලේ ධර්මසිරි ගමගේ. මේ ගීතය ඒ කාලයේ නම් නිතර අහන්නට ලැබුණු ජනප්‍රිය ගීයක්. නමුත් දැන් නම් අහන්නට නොලැබෙන තරම්.
කිරි මදුවැල ලමැදෙන් පොවනා අම්මා - අම්මා
ලොවම කිරට හඬනා ළමයිනි අම්මා - අම්මා
ධර්මදාස සහ ලතා වල්පොල සුසංයෝගයෙන් ගීත සංඛ්‍යාවක් බිහි වී තියෙනවා. ධර්මදාස වල්පොල මහතා ටික කලකට පෙර අපෙන් වියෝ වුනත් ලතා ව්ල්පොල තවමත් සංගීත ක්ෂේත්‍රයේ රැඳී සිටින ගායිකාවක්. වියපත් වුණත් ඇයගේ හඬ නම් තවමත් මිහිරියි. මේ ගීතයේ ලතා වල්පොල ගායනා කරන්නේ බොහොම සුළු කොටසක්. නමුත් ඒ සුළු ගායනයෙන් වුණත් ගීතයට එකතු කරන වටිනාකම ඉතාම ඉහලයි.
2. සරා සොඳුරු
සුගතපාල සෙනරත් යාපා නිර්මාණය කල හන්තානේ කතාව චිත්‍රපටය කලාත්මක නිර්මාණයක් වගේම ජනප්‍රිය නිර්මාණයකුත් වුණා. මෙයට හේතුවුණ ප්‍රධාන කාරණාවක් තමයි මේ චිත්‍රපටයට ප්‍රතිභාපූර්ණ කලාකරුවන් විශාල ගණනක් සම්බන්ධ වී සිටීම. රංගනයෙන් විජය කුමාරතුංග, ටෝනි රණසිංහ, ස්වර්ණා මල්ලවාරච්චි, අමරසිරි කලංසූරිය, දයා තෙන්නකෝන් සහ සෝබනී අමරසිංහ, ගායනයෙන් අමරදේවයන්, නන්දා මාලිනී, වික්ටර් රත්නායක සහ සනත් නන්දසිරි, සංගීත නිර්මාණයෙන් කේමදාසයන්, ගීත රචනයෙන් මහගම සේකරයන් සහ ධර්මසිරි ගමගේ, දෙබස් රචනයෙන් විජය ධර්ම ශ්‍රී සහ බර්ටි ජයසේකර, වගේම සහාය අධ්‍යක්ෂණයෙන් ධර්මසේන පතිරාජ වගේ අය මේ චිත්‍රපටයට දායක වුණා. මේ වගේ කලාකරුවන් "හමුදාවක්" දායක වී කළ නිර්මාණයක් සාර්ථක වීම පුදුමයක් නොවෙයි.
මේ වන විට සුගතපාල සෙනරත් යාපා කියන තරුණ සිනමා ශිල්පියා මිනිසා සහ කපුටා නමින් කෙටි චිත්‍රපටයක් නිර්මාණය කර විදේශීය සම්මානයක් දිනාගෙන හිටියා. හන්තානේ කතාව ඔහුගේ පළමු වෘතාන්ත චිත්‍රපටය වුණා. මේ අභියෝගය ඔහු ඉතාමත්ම අපූරුවට ජයගන්නවා.
මේ චිත්‍රපටයේ තවත් විශේෂත්ව කිහිපයක්ම තියෙනවා. එයින් එකක් තමයි එය විජය කුමාරතුංගයන්ගේ පළමු රංගනය වීම. අනෙක වික්ටර් රත්නායක සහ සනත් නන්දසිරිගේ පළමු චිත්‍රපට ගායනයන් (සරා සොඳුරු සහ අනන්තවූ දෙරණ සරා ගීත) මේ චිත්‍රපටයට අඩංගු වීම. නමුත් වික්ටර් රත්නායකයන් දෙවැනියට ගීත ගායනා කළ ආදරවන්තයෝ චිත්‍රපටය හන්තානේ කතාවට කලින් ප්‍රදර්ශණය වුණා.
හන්තානේ කතාව චිත්‍රපටයේ තුන්වැනි විශේෂත්වය තමයි ගීත රචකයන් දෙදෙනෙකු එකතුවී ලියූ පළමු ගීතයත් මේ චිත්‍රපටයට අඩංගු වීම. ඒ වික්ටර් රත්නායකයන් සහ නන්දා මාලිනිය ගායනා කරන "සරා සොඳුරු මල් පැටලී" නම් ගීතයයි.
මේ ගීතය රචනය වූ හැටි ගැන ජීවන්ත දයානන්ද විසින් රචිත "නව සිනමාවක සොඳුරු පෙරවදන - සුගත්" කෘතියේ සුගතපාල සෙනරත් යාපා මහතා මෙහෙම කියනවා.
ඒ කාලෙ මහගම සේකර, දයානන්ද ගුණවර්ධන සහ මම එකට කෝච්චියෙන් කොළඹ එන්නෙ. අපි කලාවේ නොයෙකුත් අංශ ගැන සාකච්ඡා කළා. හන්තානේ කතාවට යුග ගීතයක් ලියන්න කිව්වහම සේකර මට යෝජනා කළා අපි දෙන්නම එකතුවෙලා මෙය ලියමු කියලා. මේ අනුව ගම්පහ ශ්‍රී මහා බෝධි පාර ඉදිරිපිට වෙල්යායේ (එදා එහි තිබුණේ අලංකාර පරිසරයක්) අපි දෙන්නා මී විතක් තොල ගාමින්, කඩල කමින් මේ ගීතය රචනා කළා. මා රචනා කළේ නන්දා මාලිනී ගැයූ පෙම්වතියගේ කොටස. සේකර වික්ටර් රත්නායක ගැයූ පෙම්වතාගේ පද පෙළ ලිවුවා. මෙබඳු අත්හදා බැලීමක් සිංහල ගීත සාහිත්‍යයේ මුල්වරට සිදු වූයේ සරා සොඳුරු ගීතයෙන් - (2005/08/11 -සරසවිය).
මේ ගීතයේ එදා මෙදාතුර තරුණ තරුණියන්ගේ ප්‍රේම වෘතාන්ත වල නිරන්තරයෙන් නින්නාද වෙන කොටසක් තියෙනවා.
පුරා හඳට ඉඩ සලසන
අනාගතය ඔබ පමණයි
3. කැකුළු මලක
සන්නිවේදක වෘත්තියේ පතාක යෝධයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් අප අතරින් වියෝ වී වසර 26ක් වුණා ඊයේට. ඔහු මියගිය පුවත ඇසූ විට සන්නිවේදකයින් හැටියට අපි කොයි තරම් කම්පා වුණාද කියා අපට මතකයි. ඒ කම්පනය ප්‍රේමකීර්තිට ආදරය කල රසිකයන් හැටියටත් අපට තදින් දැණුනා. ඔහුගේ නිර්මාණ නිතර ඇහෙනකොට, කියවනකොට ඔහු අදත් අප අතර ජීවත් වෙලා ඉන්නවා වගේ අපට දැනෙනවා.
1983 කඳුරට සේවය ආරම්භ කරන අවස්ථාවේදී වැඩ සටහන් සංවිධායක ලෙස ප්‍රේමකීර්ති ද අල්විස් කටයුතු කළා. ඔහුගේ ගුරු හරුකම් ලබා ගැනීමෙ භාග්‍යය අපට ලැබුණා. ඔහු ඒ දිනවල සැරිසර පුවත් සඟරාව කඳුරට සේවයේ සිට නිෂ්පාදනය කර කොළඹින් ප්‍රචාරය කළේ. මේ පරිශ්‍රය තුළ ඔහුගේ සුවඳ තවමත් රැඳිලා තියෙනවා කියා අපට හිතෙනවා. අපට මතකයි තවම ඒ දඟකාර හිතුවක්කාර සන්නිවේදකයා අපේ මැදිරියේ මයික්‍රපෝනය ඉදිරිපිට ඉඳගෙන අපේ රටේ ජනතාව අමතපු ආකාරය.
ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ ප්‍රථම චිත්‍රපට ගීතය කේ ඒ ඩබ්ලිව් පෙරේරා මහතා අධ්‍යක්ෂණය කළ ලොකුම හිනාව චිත්‍රපටයේ එන "කැකුළු මලක පෙති මත පිණි කඳුළු කැට සලා" නම් ගීතයයි. මේ ගීතය ගයන්නේ එච් ආර් ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක. සංගීතවත් කළේ ප්‍රේමසිරි කේමදාසයන්. මේ ගීතය සිවු පද ආකෘතියට ලියැවුණු ගීතයක්. මෙහි කිසිම තැනක ගීතයේ ආකෘතිය පවත්වා ගන්නට අමුතුවෙන් එකතු කළ "සක්ක පද" දකින්නට නෑ. ඒ තමයි ප්‍රේමකීර්තිගේ ගීත රචනයේ ඇති විශිෂ්ඨත්වය.
ලොකුම හිනාව චිත්‍රපටයට ප්‍රේමකීර්ති ද අල්විසුන් ගීත දෙකක් රචනා කළා. ඒ "කැකුළු මලක පෙති මත පිණි කඳුළු කැට සලා" සහ එච් ආර් ජෝතිපාල ගායනා කරන "ආකාසෙ කඩන්" ගීතයයි. [[ පසු සටහන - සරසවිය සිංහල සිනමා විස්තරයට අනුව එච් ආර් ජෝතිපාල ගායනා කරන “ආකාසෙ කඩන්” ගීතය රචනා කළේ කරුණාරත්න අබේසේකරයන් බවයි.]] ප්‍රේමකීර්ති ගී ලියූ මුල්ම චිත්‍රපටය ලොකුම හිනාව වුනත්, ඊට කලින් ඔහු දෙවැනියට ගීත රචනා කළ අභිරහස චිත්‍රපටය ප්‍රදර්ශණය වුනා. ලොකුම හිනාව චිත්‍රපටය කේමදාසයන් සංගීතවත් කළ චිත්‍රපටයකට ප්‍රේමකීර්ති ද අල්විසුන් ගීත ලියූ පළමුවැනි අවස්ථාවයි.
4. මහගෙදර බිත්ති වල
ප්‍රේමකීර්ති ද අල්විසුන් ලියූ ගීත අතරින් අපට නිතර නැසෙන ගීතයක් තමයි නිර්මලා රණතුංග ගයනා කරන "මහගෙදර බිත්තිවල" ගීතය. එය නිර්මලා රණතුංග මහත්මියගේ මුල්ම සහ එකම කැසට් පටයේ අඩංගු වූ ගීතයක්. මේ ගීතයෙන් කියැවෙන්නේ දරුවන් විවාහ වී ඈතට ගිහින්, මහගෙදර දේපළ වෙනුවෙන් එකිනෙකා සමග අමනාප වී සටන් වැදීම හේතුවෙන් ඒ ගැන කම්පා වන මවක් ගැනයි. අපේ සමාජයේ නිරන්තරයෙන්ම තිබෙන ප්‍රශ්ණයක් ඉතාම සානුකම්පිත ලෙස ප්‍රේමකීර්ති දැකපු අවස්ථාවක් මේ. ප්‍රේමකීර්තිගේ ආදරයේ උල්පත වූ අම්මා ගීතය වගේම මේ ගීතයත් අපේ හදවතටම දැනෙන බොහොම සංවේදී ගීතයක්.
ලෙඩ ඇඳේ සිටන මා - පොලොව පිළිගනු ඇතේ
හිතන්නට බැරි දුරක් - ගියේ ඇයි දරුවනේ
එක ළමැද තුරුලු වී - උරා බිව් කිරි බිඳේ
එකම ලේ නොවෙද අද පංගුවට යට වුනේ
මේ ගීතයේ සංගීතය එච් එම් ජයවර්ධනයන්ගේ. එතුමාගේ බොහොමයක් ගීත වගේම මේ ගීතයේ සංගීතයත් බොහොම සරළයි. මවගේ කම්පාව, වැලපීම, නිරූපණය කරන්නට යොදාගෙන ඇත්තේ සිතාර් වාද්‍ය ඛණ්ඩයක්. ඒ සංගීත ඛණ්ඩයේ ඇත්තේ ස්වර කිහිපයක් පමණයි. කෙටි වුනත් ඒ සංගීත ඛණ්ඩය කිහිප වරක් නැවත නැවත යොදා ගනිමින් එච් එම් ජයවර්ධනයන් ගීතයේ අර්ථය වඩාත් තීව්‍ර කරනවා.
5. දිසාපාමොක් ඇදුරු තුමනි
එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාටකය අපේ නාට්‍ය කලාවේ විශේෂ තැනක් ගන්නා නාට්‍යයක් පමණක් නොවෙයි, ලප නොම් වන් සඳ, ප්‍රේමයෙන් මන රංජිත වේ, නැද්දෝ සිතේ අනුකම්පා වගේ නොමියෙන ගී කිහිපයකුත් අපේ සිංහල සංගීත ක්ෂේත්‍රයට දායාද කළ නාට්‍යයක්. එපමණක් නොවෙයි මනමේ නාටකය වෙනත් කලා නිර්මාණ, විශේෂයෙන්ම ගීත, වලටත් අනුභූතියක් වෙලා තියෙනවා. මනමේ කථා පුවත ආශ්‍රයෙන් සහ එයට නව අර්ථකථන දෙමින් නිර්මාණය වුණු ගීත බොහොමයක් තියෙනවා. රඟහල දැන් ඇත අඩ අඳුරේ (විජේරත්න වරකාගොඩ, අනුලා බුලත්සිංහල), ඔබ රූ සිරියෙන් (එඩ්වඩ් ජයකොඩි), දිසාපාමොක් ඇදුරු තුමනේ (පියසිරි විජේරත්න), දිසාපාමොක් පඬිඳුනේ (වික්‍ටර් රත්නායක), සුවහසකගේ ප්‍රශංසා වරුසා (සනත් නන්දසිරි) යන ගීත ඉන් සමහරක්. <>උපාලි ධනවලවිතාන රචනා කළ, සරත් දසනායකයන් සංගීතවත් කළ, ටී එම් ජයරත්නයන් ගායනා කරන මේ ගීතයත් එවැනි තවත් ගීතයක්.
දිසාපාමොක් ඇදුරු තුමනී
දුටුව දා සිට මනමෙ කුමරී
ඇගේ සිත මා මනස කලඹයි
තක්සලාවෙන් ඉවත යන්නෙමි
මේ ගීතයේ සංගීතය තුළ නුර්ති සහ නාඩගම් සංගීත රටාව අපූරුවට යොදාගෙන තියෙනවා සරත් දසනායකයන්. මේ ගීතය අඩංගු වුණේ 1978දී පමණ තරංගා ලේබලයෙන් නිකුත් වූ ටී එම් ජයරත්නයන්ගේ මුල්ම කැසට් පටයේ.