මියුරස වින්දන 9

මියුරස වින්දන 9

ගීත එකතුව

  1. පිණිදියෙන් විකසිතව (නන්දා මාලිනී / ධර්මසිරි ගමගේ / සරත් දසනායක)
  2. ලා සඳ එළියේ (නිරංජලා සරෝජිනී / දයා ද අල්විස් / එච් එම් ජයවර්ධන)
  3. මා දුර ඈතක යතැයි කියා (මර්වින් පෙරේරා / ධර්ම ශ්‍රී වික්‍රමසිංහ / මර්වින් පෙරේරා)
  4. කුල භේද (ජය ශ්‍රී චන්ද්‍රජිත්/ජයලත් මනෝරත්න / * / *)
  5. America (Tatiana Troyanos, Louise Edieken and Chorus / Stephen Sondheim / Leonard Bernstein)

1. පිණිදියෙන් විකසිතව

ප්‍රවීණ පුවත්පත් කලාවේදියෙකු, ගීත රචකයෙකු, චිත්‍රපට තිර රචකයෙකු සහ චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙකු වූ ධර්මසිරි ගමගේ කලාකරුවාණන්ගේ ගුණ සමරුව පසුගිය සතියට යෙදී තිබුණා. අපි කලින් වැඩසටහනකට ඉදිරිපත් කලා එතුමන් ගීත රචනය කළ, ප්‍රේමසිරි කේමදාසයන් සංගීතය නිර්මාණය කළ නවරැල්ල නම් වූ ගීත නාටකයක ගීතයක් - ධර්මදාස සහ ලතා වල්පොල ගායනා කරන මේ ලෝ තලයේ නම් මවු ගුණ ගීතය. මේ ගීත නාටකයේ ගීත ඇසූ චිත්‍රපට අධ්‍යක්ෂක කේ ඒ ඩබ්. පෙරේරා මහත්මයා මේ දෙදෙනාට ආරාධනා කළා එතුමාගේ සැනසුම කොතැනද චිත්‍රපටයට ගීත ලියන්නට සහ සංගීතය අධ්‍යක්ෂණය කරන්නට. ධර්මසිරි ගමගේ මීට කලින් එක් චිත්‍රපටයකට ගීත ලියා තිබුණා. කේමදාසයන් චිත්‍රපට පහකට පමණ දායක වී තිබුණා. නමුත් මේ දෙදෙනාම චිත්‍රපට සංගීතය තුල ප්‍රබල ලෙස ස්ථාපිත කලේ සැනසුම කොතැනද චිත්‍රපටයයි. මේ චිත්‍රපටයට ඉතාමත් මිහිරි ගීත කිහිපයක්ම අඩංගු වුණා. හරූන් ලන්ත්‍රා ගයන "සුළං කුරුල්ලෝ", අමරදේවයන් ගයන "සංසාර ගමනේ තන්හා ආශා" සහ ලතා වල්පොල ගයන "ආදරයේ රන් විමනේ" ඒ ගීත වලින් වඩාත්ම ජනප්‍රිය වූ ගීත. සැනසුම කොතැනද චිත්‍රපටය ජනප්‍රිය වන්නටත් ප්‍රධානම හේතුව වුණේ මේ ගීත සහ කේමදාසයන්ගේ සංගීතයයි.

eya-dan-loku-lamayekධර්මසිරි ගමගේ ඉන් පසු චිත්‍රපට ගණනාවකට ගීත ලිව්වා. පසු කාලීනව චිත්‍රපට තිර රචනයටත් චිත්‍රපට අධ්‍යක්ෂණයටත් යොමු වුනා. ධර්මසේන පතිරාජ මහත්මයාගේ එයා දැන් ලොකු ළමයෙක් චිත්‍රපටය එතුමා තිර රචනය සහ ගීත රචනය යන දෙකෙන්ම දායක වූ චිත්‍රපටයක්. මේ චිත්‍රපටයට එතුමා ලියූ, සරත් දසනායකයන් සංගීතවත් කල, නන්දා මාලිනිය ගායනා කල පිණිදියෙන් විකසිතව ගීතයේ මුල් පටිගත කිරීමයි අපි අද මුලින්ම ඉදිරිපත් කරන්නේ. මේ චිත්‍රපටයේ හඬ පටයෙන් ලබාගත් ඒ ගීතයේ පිටපතකුයි. එහි තිබූ නොයෙකුත් දෝශ ඉවත්කොට මේ තත්වයට ගෙනෙන එක තරමක අභියෝගයක් වුණා.

2. ලා සඳ එළියේ

laa-sanda-eliyeනව යොවුන් වියට පත් වුනාට පසුව යුවතියකගේ ජීවිතයේ එන ඊලඟ විශේෂ අවස්ථාව තමයි විවාහ ජීවිතයට ඇතුලත්වීම. එලෙස විවාපත් වී, මධු සමය ගත කරන යුවතියකගේ සිතුවිලි, තම හිමියන්ට කරන ආමන්ත්‍රණයක ස්වරූපයෙන් කියවෙන ගීතයක් රචනා කර තියෙනවා ප්‍රවීණ ගීත රචිකා දයා ද අල්විස් මහත්මිය. මේ අතිශය සුන්දර අවස්ථාව සහ සිතුවිලි, එයටම සරිලන අතිශය සුන්දර පදමාලාවකින් චිත්‍රණය කරන්නට දයා ද අල්විස් මහත්මිය සමත් වෙලා තියෙනවා. එච් එම ජයවර්ධනයන් සංගීතවත් කල නිරංජලා සරෝජිනී මහත්මිය ගායනා කරන ලා සඳ එළියේ නම් ගීතයයි ඒ.

ඇය මේ ගීතයේ යොදාගෙන ඇති රූපක ඉතාම විශිෂ්ඨයි:

"මා දිවි රැය සුවඳින් මල් පුබුදාසඳ දිය ඉල්ලයි හිමි සඳුනේ"
"නා පෙති සිඹලා තරු එලි නිවලා සඳවත සැතපෙයි මල් යහනේ"

මේ මාතෘකාව ගැන කියන්නට මීට වඩා සුදුසු පද තවත් ඇත්ද කියන එක සැකයි.

එච් එම් ජයවර්ධනයන්ගේ සංගීතයත්, ගීතය අවසානයේ එන වදන් නොමැතිව කරන ගායනයත් ගීතයේ අදහසට ඉතාම හොඳින් ගැලපෙනවා.

මේ ගීතයේ අනෙක් පැතිකඩ තමයි පරිසරය සහ සොබා දහම සමග ඇති සම්බන්ධතාවය. දයා ද අල්විස් මහත්මිය මේ ගැන වරෙක පුවත් පතකට කියා තිබුණේ මෙහෙමයි.

"මගේ ගීත සාහිත්‍යය පුරාම දිවයන්නේ මා හා පරිසරය අතර තියෙන සබඳතාවයි. පරිසරයයි මගේ ජීවිතයයි කියන්නේ එකක් මිස දෙකක් නෙවේ. කුඩා කාලේ මම චිත්‍ර අඳින්න බොහෝම දක්ෂයි. මං ඇඳපු හැම චිත්‍රයකම වගේ තිබුණේ ගහ, කොළ, ඉර, හඳ වගේ සොබාදහම සම්බන්ධ වස්තූන්. එයින් මිදෙන්න මට අද බැහැ. ඒ නිසා මගේ ගීත බොහොමයක පාරිසරික විචිත්‍රත්වය සැඟවිලා තියෙනවා. සොබාදහම ඇසුරෙහි යම් නිර්මාණයක් කරනකොට එය මගේ හදවතට දැනෙනවා වැඩියි."

ඇය කියන පරිදි, අමරා රණතුංග ගයන සපුමල් සුවඳක් සේ, නීලා වික්‍රමසිංහ ගයන හිරුට අයිති බව හිරු පවසනවා, රොහාන් ශාන්ත බුලේගොඩ ගයන සඳක් නම් බැස යන්න තිබුණා, අබේවර්ධන බාලසූරිය හා ඉන්ද්‍රානි බෝගොඩ ගයන නොතැවෙන් සූරිය කාන්තා නොහඬන් සූරියකාන්තා, මාලිනී බුලත්සිංහල ගයන පිනි බිඳු විසිරෙන සීතල හිමිදිරියේ යන ගීත සියල්ලම ඇය සහ සොබා දහම අතර ඇති සබඳතාවේ ප්‍රතිඵලයි.

දයා ද අල්විස් මහත්මියගේ ජීවිතයේ එක් එක් සිදුවීම් අළලා ලියැවුණු "එකෝමත් එක දවසක" කෘතිය පසුගිය සතියක එලි දැක්වුනා. එයත් නිමිත්තක් කරගෙන තමයි එතුමිය ලියූ මේ ගීය අපි අද ඉදිරිපත් කරන්නේ.

3. මා දුර ඈතක යතැයි කියා

mervyn-pereradharma-sri

මධු සමයේ සුන්දරත්වය මුළු විවාහ ජීවිතය පුරාම පවතින්නේ නෑ. ජීවිතය ගෙන යන්නට කරන නිරන්තර අරගලයේදී පවුලේ ආර්ථික සුභ සිද්ධිය වෙනුවෙන් දෙදෙනා දෙතැනකට යන්නට සමහරවිට සිදු වෙනවා. රැකියාව සඳහා සැමියා වෙනත් ප්‍රදේශයක, වෙනත් රටක සේවයට යැම බොහොම සුලභ දෙයක් බවට අද පත්වෙලා. ඔබට මට වගේම තවත් බොහොම දෙනෙකුට ජිවිතයේ කවර හෝ කාලෙක මේ ඉරණමට මුහුණ පාන්නට සිදුවන්නට ඇති. සැමියා ඈතක යාම හේතුවෙන් බිරිඳටත් දරුවන්ටත් නොයෙකුත් ප්‍රායෝගික ගැටළු වලට මුහුණ පාන්නට වෙන එක පුදුමයක් නොවෙයි. මේ සියල්ලටම වඩා වෙන්ව යාම නිසා ඇතිවන සිත් තැවුල දරා ගැනීම අමාරුම කාර්යය වෙන්නටත් පුළුවන්.

අපි මීළඟට අහන්නට යන ගීතය මේ මාතෘකාව අළලා ලියවුන ගීතයක්. ගී පද ධර්ම ශ්‍රී වික්‍රමසිංහයන්ගේ. සංගීතවත් කොට ගයන්නේ මර්වින් පෙරේරා.

4. කුල භේද

stage-hitsරැකියාවක් හොයාගන්නට යන බොහොම දෙනෙක් එදා වගේම අදත් යන්නේ ගමෙන් නගරයට. සමහරක් එහෙම එන්නේ ගමේ තියෙන අග ගිඟකම්, කුල භේද වගේ දේ ගැන කලකිරීමෙන්. එහෙම එන අයගෙන් කොටසක් නගරයේ දකින්නට ලැබෙන භෞතික සම්පත් වලට සහ ගමේ දකින්නට නොලැබෙන වර්ගයේ පුද්ගලයින්ට, නගරයේ සංස්කෘතියට ඇලුම් කරනවා. නමුත් සමහර අය නගරයට කැමති වෙන්නේ නෑ. ඒ අයට හිතෙන්නේ තමන් කබලෙන් ලිපට වැටුණා කියලයි.

මේ පරස්පරය ගැන කියවෙන නාට්‍ය ගීතයක් තමයි අප මීළඟට ඉදිරිපත් කරන්නේ. මේ ගීතය අඩංගු වුණේ කොන්තරේ නාට්‍යයේ. ගායනය කරන්නේ ජය ශ්‍රී චන්ද්‍රජිත්, ජයලත් මනෝරත්න ඇතුළු පිරිස. නාට්‍යය නිෂ්පාදනය කලේ ප්‍රේමරන්ජිත් තිලකරත්න.

නාට්‍ය ගී රචකයාට සරල ගී රචකයාට වඩා නිදහසක් තියෙනවා වචන තෝරා ගැනීමේදි. සරල ගී වලට බහුල වශයෙන් යොදාගන්නේ සුමට වචනයි. නමුත් මේ ගීතයේ ගීත වලට නිතර යොදා නොගැණෙන වචන, යෙදුම් බොහොමයක් තියෙනවා.

තිබුණාට ගම රට හුට පට - වැටුණාද කබලෙන් ලිපකට පැලයම් වෙන්නට අපි ආවේ - කැහැපට ගහගෙන අපි ආවේ කොලඹ මොකද රත්තරන් තියෙන්වද - වෙස්සන්තරලා දොර දන් දෙනවද

නගරයේ තියෙන සංස්කෘතිය, එහි සිටින සාක්කු කපන අය, කසිප්පු පෙරන අය, 60 දශකයේ ජනප්‍රිය වූ බීට්ල්ස් ගායක කණ්ඩායම අනුකරණය කරමින් කොණ්ඩය වවන බීට්ල්වරු, ඇඟ වඩවන ටාසන්ලා සහ සුදු වැල්ලේ අව්ව තපිමින් ජෝගි නටන හිපි කෙල්ලෝ වගේ විවිධාකාර පුද්ගලයින් ගැන මේ ගීතයේ කියවෙනවා.

5. America

west-side-storyamerica

 

කෝන්තරේ නාට්‍යය අමෙරිකාවේ West Side Story නම් සංගීතමය නාටකයේ (Broadway Musical) සිංහල අනුවාදයයි. මේ නාට්‍යය ආතර් ලෝරෙන්ට්ස් (Arthur Laurents) විසින් රචිත කතාවක්, ස්ටීවන් සොන්ඩ්හයිම් (Stephen Sondheim) විසින් ගීත රචනා කර සහ ලෙනාඩ් බර්න්ස්ටයින් (Leonard Bernstein) සංගීතවත් කළ නාට්‍යයක්. මේ නාට්‍යයෙන් කියැවෙන්නේ ඇමරිකාවේ නිව් යෝර්ක් නගරයට එන දකුණු ඉන්දියානු සංක්‍රමිකයන් දෙපිරිසක් ඇතිවන කෝන්තරයක් පිළිබඳ කතාවක්. මේ නාටකයේ එන America කියන ගීතය තමයි අපි කලින් අහපු "කුල බේද" ගීතයටත් පදනම් වෙලා තියෙන්නේ. මේ ගීතයේ දෙපිරිසක් ඇමෙරිකාවේ කොටසක් ලෙස සැලකෙන පුවෙර්ටෝ රිකෝ දේශය සහ නිව් යෝර්ක් නගරය සසඳනවා. නමුත් ප්‍රේමරන්ජිත් තිලකරත්න නිව් යෝර්ක් නගරය වෙනුවට අපේ කොළඹ නගරය සහ එහි සංස්කෘතිය බොහොම අපූරු විදිහට ආදේශ කරගනිමින් ඉතා සාර්ථක ගීයක් නිර්මාණය කර තියෙනවා. America ගීතය පටිගත කල අවස්ථාව