මියුරස වින්දන 1

මියුරස වින්දන 1

ගීත එකතුව

  1. ජගන් මෝහිණී (ඩබ් ඩී අමරදේව / ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ / ඩබ් ඩී අමරදේව )
  2. වසන්තයේ මල් සමයේ (අමරසිරි පීරිස්, චන්ද්‍රලේඛා පෙරේරා / සුනිල් ආරියරත්න / රෝහණ වීරසිංහ)
  3. Muudo Hormo - Song from Senegal (Baaba Maal, Monsour Seck)
  4. ලස්ස ගණන් වස්තු ලැබී (ඇන්ටන් රුද්‍රිගු, සී ටී ප්‍රනාන්දු, මිල්ටන් පෙරේරා, දයා සන්දනායක ඇතුළු පිරිස / මහගම සේකර / ඩබ් ඩී අමරදේව)

 

1. ජගන් මෝහිණී

saraswatiඅපේ සම්ප්‍රදායට අනුව පළමු ගීතය ලෙස සරස්වතී අභිනන්දන ගීතයක් තෝරා ගැනීම සුදුසුයි කියා හිතුවා. මේ ගීතය ගායනා කරන්නේ පණ්ඩිත් අමරදේවයන්. ගීතය රචනා කර ඇත්තේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්. මේ ගීතය බොහෝ උත්සව අවස්ථා වල අපට අහන්නට ලැබෙන නමුත් ගීතයේ අර්ථය පිළිබඳවත් ගීතයේ නිර්මාණය පිළිබඳවත් බොහෝ දෙනෙක් දන්නේ නැහැ.

මේ ගීතය නිර්මාණය වුණේ 1961දී ආරම්භ වූ සරසවිය සිනමා සම්මාන උළෙලේ තේමා ගීතය හැටියට. එවකට සරසවිය පුවත්පතේ ප්‍රධාන කර්තෘ විමලසිරි පෙරේරා (ජී. එච් පෙරේරා කවියාගේ පුතණුවන්) මේ ගීතය මානවසිංහයන් ලවා රචනා කර ගෙන, තනුවක් යොදා ගායනා කරන ලෙස අමරදේවයන්ට බාරදී තියෙනවා.

මානවසිංහයන්ට සිංහල භාෂාවට අමතරව පාලි සහ සංස්කෘත භාෂාවන් පිළිබද විශාල දැනුමක් තිබුණා. මේ ගීතය සම්පූර්ණයෙන්ම රචනා වී තිබෙන්නේ සංස්කෘත භාෂාවෙන්.

ජගන් මෝහිණී - මධුර භාෂිණී
චාරු දේහිනී - කමල වාසිනී

මේ කියන්නේ මුළු ලොවම මෝහනය කරන, චාරු දේහයක් ඇති, මධුර ලෙස කතා කරන, පද්මයක් උද වැඩවසන සරස්වතී දේවිය ගැනයි.

සංස්කෘත භාෂාවෙන් පමණක් ලියැවුණු "සිංහල" ගීත ඇත්තේ ස්වල්පයයි. සුනිල් සාන්තයන් ගායනා කරන ලලිත ලවංග ගීතයත් ලියවී ඇත්තේ සංස්කෘත භාෂාවෙන්.

අපේ සිංහල සංගීතයේ සරස්වතී අභිනන්දන ගීත කිහිපයක්ම තිබෙනවා.

  1. ජගන් මෝහිණී - ඩබ් ඩී අමරදේව / චන්ද්‍රරත්න මානවසිංහ / ඩබ් ඩී අමරදේව
  2. ගීතාංජලී - ඩබ් ඩී අමරදේව, සනත් නන්දසිරි / ප්‍රණීත් අභයසුන්දර / ඩබ් ඩී අමරදේව
  3. ඉන්ද්‍ර මණ්ඩිත - සනත් නන්දසිරි / විමල් අභයසුන්දර / සනත් නන්දසිරි
  4. පංකජ නයනී - පී වී නන්දසිරි / චන්ද්‍රරත්න මානවසිංහ / පී වී නන්දසිරි
  5. කමලාසනී - පී වී නන්දසිරි / විමල් අභයසුන්දර / පී වී නන්දසිරි
  6. ජය ජය දේවි - ගුණදාස කපුගේ / ප්‍රණීත් අභයසුන්දර / ගුණදාස කපුගේ
  7. සංගීතේ සංකල්පිත - සෝමතිලක ජයමහ / විමල් අභයසුන්දර / ඩී ආර් පීරිස්

මේ ගීත සියල්ලම සම්පූර්ණයෙන්ම පාහේ සංස්කෘත භාෂාවෙන් පමණක් ලියැවී ඇති වීම විශේෂත්වයක්. තවත් විශේෂයත්වයක් වන්නේ මේ ගීත 7 ම මානවසිංහ පවුලේ සහ අභයසුන්දර පවුලේ සාමාජිකයින් පමණක් අතින් ලියැවී තිබීමයි.

ජගන් මෝහිණී ගීතයේ මුල් පටිගත කිරීමයි මේ.

2. වසන්තයේ මල් සමයේ

අප මීළඟට ඉදිරිපත් කරන්නේ 1980 දශකයේ රූපවාහිනියේ ප්‍රචාරය වූ රේඛා ටෙලි නාට්‍යයේ එන වසන්තයේ මල් සමයේ ගීතය. මේ ටෙලි නාට්‍යය නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය කලේ ඩී බී නිහාල්සිංහයන්. මේ ගීත රචනා කලේ සුනිල් ආරියරත්නයන්. සංගීතය රෝහණ වීරසිංහයන්ගේ. ගීතය ගායනා කලේ අමරසිරි පීරිස් සහ චන්ද්‍රලේඛා පෙරේරා.

මේ ගීතයෙන් කියවෙන්නේ ජීවිතයේ වසන්ත පිළිබඳවයි.

වසන්තයේ මල් සමයේ
මල්වර හෝපලු වනේ
යව්වනයට කතා කරයි
මධු කෝකිල කූජනේ

කෝකිලයා තම කූජනය තුලින් කතා කරන්නේ කෙවිලියට නොව යව්වනයට බවයි මෙයින් කියන්නේ. මේ ගීතය සුනිල් ආරියරත්නයන් තම නිර්මාණ දිවියේ උච්චතම අවස්ථාවේ කල නිර්මාණ වලින් එකක්.

රේඛා ටෙලි නාට්‍යය නිර්මාණය වුණේ රූපවාහිනී ටෙලින නාට්‍ය කලාවේ ආරම්භක අවදියේදී යි. එය සංගීතමය ටෙලි නාට්‍යයක්. මේ ටෙලි නාට්‍යයෙන් බිහිවුණු වන සිවුපාවුන් (චන්ද්‍රලේඛා පෙරේරා), හිරු හිනැහෙන (බණ්ඩාර අතාවුද, චන්ද්‍රලේඛා පෙරේරා), දල්වූ පහන් (ලක්ෂ්මන් විජේසේකර, චන්ද්‍රලේඛා පෙරේරා), නීල නුවන් යුග (චන්ද්‍රලේඛා පෙරේරා), තරු එලියද (චන්ද්‍රලේඛා පෙරේරා) වගේ ගීත එදා මෙන්ම අදත් ජනප්‍රියයි.

3. Muudo Hormo

baaba-maalmonsour-seck
අපි මීළඟට ඉදිරිපත් කරන්නේ බටහිර අප්‍රිකානු රටක් වන සෙනෙගාල් (Senegal ) රටේ ගීතයකට. මේ ගීතය ගායනා කරන්නේ බාබා මාල් (Baaba Maal) සහ මන්සූර් සෙක් (Monsour Seck) යන ගායකයින් දෙදෙනා. මෙයින් මන්සූර් සෙක් අන්ධ සංගීතඥයෙක්. මේ ගීතයේ සංගීතය සහ ගායන විලාශය අපේ සිංහල සංගීතයට බොහොම කිට්ටු බවක් ඇති බව මේ ගීය මුලින්ම ඇහුව දවසෙම මට වැටහුණා. ගීතයේ අරුත අපට ග්‍රහණය කරන්නට බැරි වුනත් ගීතයේ රිද්මය සහ සංගීතය අපේ හදවත් දිනාගන්නට සමත් වෙනවා. balafon

මේ ගීතයේ ගිටාර් (Acoustic Guitar) වලට අමතරව භාවිතා කර තියෙනවා බැලෆෝන් (Balafon) කියන අප්‍රිකානු වාද්‍ය භාණ්ඩය. මේ භාණ්ඩය බටහිර සංගීතයේ භාවිතා වන සයිලෆොන් (Xylafon) භාණ්ඩයට තරමක් සමානයි. එය එක් එක් ස්වර වලට සුසර කර ගත් ලී පටි සහ ඒවාට යටින් සම්බන්ධ කර ගත් ලබු කැට වලින් යුක්ත වෙනවා. බැලෆෝන් වාද්‍ය භාණ්ඩය පිලිබඳ තවත් විස්තර djembe.com නම් වෙබ් අඩවියෙන් පිටුවෙන් ලබාගන්නට පුළුවන්.

4. ලස්ස ගණන් වස්තු ලැබී

lassa-ganan අපේ සිංහල ගීත ක්ෂේත්‍රය චිත්‍රපට ගීත වලින් බොහෝ සේ පෝෂණය වී තිබෙනවා. අප මීළඟට ඉදිරිපත් කරන්නේ අපට කිසිදා අමතක නොවන එවන් චිත්‍රපට ගීතයක්. මේ ගීතය සාරවිට චිත්‍රපටයේ එන "ලස්ස ගණන් වස්තු ලැබී" කියන ගීතයයි. ගීතය රචනා කර තිබෙන්නේ මහගම සේකරයන්. සංගීතය අමරදේවයන්ගේ. ගීතය ගායනා කරන්නේ ඇන්ටන් රුද්‍රිගු, සී ටී ප්‍රනාන්දු, මිල්ටන් පෙරේරා, දයා සන්දනායක ඇතුළු පිරිස.

සාරවිට චිත්‍රපටය 1960 දශකයේ අපේ රටේ ඉතා ජනප්‍රියත්වයට පත් චිත්‍රපටයක්. ජෝ අබේවික්‍රම මැදිවියට පත් සාරවිට වෙළෙන්දෙකුගේ චරිතයක් රඟපෑවා. මේ රඟපෑම වෙනුවෙන් ඔහු ඒ වර්ෂයේ හොඳම නළුවා හැටියට සම්මානයකුත් දිනා ගත්තා. මේ චිත්‍රපටය පුරා නන්දා මාලිනී ගායනා කරන "මේ සිංහල අපගේ රටයි", මිල්ටන් පෙරේරා ගායනා කරන "සිරි සාර බුලත් විට" වගේ අපූරු ගීත ගණනාවක් තිබෙනවා.

චිත්‍රපටයේ ජෝ අබේවික්‍රම රඟපෑ චරිතය වන සාරයියාට ලොතරැයියක් ඇදෙනවා. ඉන් පසු ගමේ පිරිසක් එකතු වී ගමේ කඩය ළඟ තමයි මේ ගීතය ගායනා කරන්නේ. මෙහි

මේ සුභ ආරංචිය මමයි මෙහේ ගෙනාවේ
හොඳටම පරණ වෙලා මා යන මේ වාහනේ

කොටස ගයන්නේ පරණ බයිසිකලයකින් ඒ පණිවිඩය රැගෙන ආ පුද්ගලයා.

ගත් ණය සේරම මට පොලිය සමග ලැබෙනවා
මත්තට ලෙඩට දුකට පිහිටක් දැන් තියෙනවා

කොටස ගායනා කරන්නේ කඩේ මුදලාලියි. ලොතරැයිය ඇදෙන්නේ සාරයියාට වුනාට එහි ප්‍රතිලාභ ලබන්නට බලාපොරොත්තු වෙන අයගේ සිතුවිලියි ඒ.

සමහර චිත්‍රපට ගීත වල අර්ථය චිත්‍රපටය නරඹා නැති කෙනෙකුට තේරෙන්නේ නැති වෙන්නට පුලුවන්. නමුත් ගීතයේ තිබෙන මිහිර නිසාම මෙවැනි සමහර ගීත ජනප්‍රියත්වයට පත් වෙනවා. මේ වගේ තවත් එලෙස ජනප්‍රියත්වයට පත් වුනු ගීතයක් තමයි ගැටවරයෝ චිත්‍රපටයේ එන, මහගම සේකරයන් රචනා කල "හාරිච්චි බෝරිච්චි" ගීතය. මේ චිත්‍රපට නරඹපු නැති කෙනෙක් වුනත් මේ ගීත දන්නවා.

මහගම සේකරයන් සහ අමරදේවයන් එකතු වී කල නිර්මාණයක් කියා කියන විට අපට සිහියට එන්නේ මීට වඩා තරමක භාවපූර්ණ ගීතයක්. නමුත් ඔවුන්ගේ දායකත්වයෙන් මෙවැනි ගීතත් නිර්මාණය වී තිබෙන බව අප අමතක නොකළ යුතුයි. චිත්‍රපටයේ නාමාවලියේ මේ ගීතය ගැන සඳහන් නොවීම කණගාටුවට කාරණයක්. ලැබෙනවා මත්තට ලෙඩට දුකට පිහිටක් දැන් තියෙනවා කොටස ගායනා කරන්නේ කඩේ මුදලාලියි. ලොතරැයිය ඇදෙන්නේ සාරයියාට වුනාට එහි ප්‍රතිලාභ ලබන්නට බලාපොරොත්තු වෙන අයගේ සිතුවිලියි ඒ.

සමහර චිත්‍රපට ගීත වල අර්ථය චිත්‍රපටය නරඹා නැති කෙනෙකුට තේරෙන්නේ නැති වෙන්නට පුලුවන්. නමුත් ගීතයේ තිබෙන මිහිර නිසාම මෙවැනි සමහර ගීත ජනප්‍රියත්වයට පත් වෙනවා. මේ වගේ තවත් එලෙස ජනප්‍රියත්වයට පත් වුනු ගීතයක් තමයි ගැටවරයෝ චිත්‍රපටයේ එන, මහගම සේකරයන් රචනා කල "හාරිච්චි බෝරිච්චි" ගීතය. මේ චිත්‍රපට නරඹපු නැති කෙනෙක් වුනත් මේ ගීත දන්නවා.

මහගම සේකරයන් සහ අමරදේවයන් එකතු වී කල නිර්මාණයක් කියා කියන විට අපට සිහියට එන්නේ මීට වඩා තරමක භාවපූර්ණ ගීතයක්. නමුත් ඔවුන්ගේ දායකත්වයෙන් මෙවැනි ගීතත් නිර්මාණය වී තිබෙන බව අප අමතක නොකළ යුතුයි. චිත්‍රපටයේ නාමාවලියේ මේ ගීතය ගැන සඳහන් නොවීම කණගාටුවට කාරණයක්.