මියුරස වින්දන 15

මියුරස වින්දන 15

1. දේ සවන පිනන ගී රාවේ

සිංහල සංගීතයේ අග්‍රගණ්‍ය ගායක / සංගීතවේදී අමරදේවයන් ගේ උපන් දිනය අදයි. අමරදේවයන් ගේ ගීත අහන්නට ලැබීම අපට අපේ ජීවිත කාලය තුල ලැබුණු ලොකුම භාග්‍යයක් හැටියටයි මම නම් සළකන්නේ.

අමරදේවයන් ගීත රචනා තෝරා ගත්තේ බොහොම පරිස්සමින්. එතුමා තුල තිබෙන භාෂා ඥානය එයට ඉවහල් වුන බව බොහෝ දෙනෙක් කියනවා. අමරදේවයන් 1950 දශකයේ ගායනා කළ ගීත බොහොමයක් රචනා කර තිබෙන්නේ මානවසිංහයන්, බී ටී මෙන්ඩිස්, විමල් අභයසුන්දරයන්, අරිසෙන් අහුබුදුවන් වගේ ගීත රචකයින්. ඉන් පසු 60 දශකයේ මඩවල එස් රත්නායක, මහගම සේකර, විමල් දිසානායක වගේ ගීත රචකයින්. ඉනුත් පසු70 දශකයේ ඩබ් ඒ අබේසිංහ, ඩෝල්ටන් අල්විස්, සුනිල් සරත් පෙරේරා වගේ ගීත රචකයින්.

නමුත් 1940 දශකයේ අමරදේවයන් ගැයූ බොහොම ගීත රචනා කර අත්තේ එතුමන් මයි. ලෙලදේය බඳේ සුදු සේලේ, වඳිමු සුගත ශාක්‍ය සිංහ, ශාන්ත මේ රෑ යාමේ, සීගිරියේ සිතුවම් රමණී (වජිරා බාලසූරිය සමග) එවන් ගීත කිහිපයක්. අමරදේවයන් වජිරා බාලසූරිය සමග ගයන දේ සවන පිනන ගී රාවේ ගීතයත් අමරදේවයන් රචනා කළ ගීතයක්. මේ ගීතයේ සංගීත නිර්මාණයත් අමරදේවයන්ගේමයි.

2. චාමිකර ලක් දෙරණේ

නොවැ 30 දා එම් කේ රොක්සාමි සංගීතවේදීයාණන් අපි සිහිපත් කරනවා. එතුමා අති දක්ෂ වයලීන වාදකයෙක්. වයලීනයට අමතරව එතුමා සැක්සපෝනය සහ ඇකෝඩියන් (accordian) යන භාණඩත් දක්ෂ ලෙස වාදනය කළා. සිංහල සිනමා සංගීතයට ස්වතන්ත්‍ර තනු රැසක් එතුමා නිර්මාණය කලා. චිත්‍රපට ගීත වලට අමතරව වෙළඳ ගී තැටි වලටත්, ගුවන් විදුලි වැඩසටහන් වලටත් එතුමා තනු සහ සංගීත නිර්මාණය කළා.

ඒ කාලයේ ගුවන් විදුලියේ නිර්මාණය වුණු ගීත අතුරින් සැළකිය යුතු ප්‍රමාණයක් දේශාභිමානී ගීත. මේකට එක් හේතුවක් තමයි ගුවන් විදුලි සරළ ගී ගායක ගායිකාවන්ට තමන්ගේ සරළ ගී වැඩ සටහන් වලට දේශාභිමානී ගීත යම් ප්‍රමාණයක් ගැයීම අනිවාර්ය කර තිබීම.

එම් කේ රොක්සාමි සංගීතවේදීයාණන් රූපා ඉන්දුමතී මහත්මියගේ ගුවන් විදුලි සරල ගී වැඩ සටහනකට තනුව සහ සංගීතය නිර්මාණය කළ එවන් දේශාභිමානී ගීතයක් තමයි චාමිකර ලක් දෙරණේ නම් ගීතය. ඇතැම් තැනක මේ ගීතයේ සංගීත නිර්මාණය කළේ ස්ටැන්ලි එම් ප්‍රනාන්දු ලෙස සඳහන් වුනත් එය නිවැරදි නොවන බවයි මගේ අදහස. එම් කේ රොක්සාමි මාස්ටර්ගේ සංගීත භාවිතාවේ පැහැදිලි ලකුණු මේ ගීතයේ තියෙනවා - උදාහරණ හැටියට ගීතයේ ආරම්භක කොටසේ (introduction) එන වයලීන සංගීත ඛණ්ඩය, චාමිකර ලක් දෙරණේ කොටසේ ගායනයට යටින් යන ප්‍රතිසංවාදය (counterpoint) සහ අන්තර්වාදන (interlude) සඳහන් කරන්නට පුළුවන්. ඉහත සඳහන් කළ, චාමිකර ලක් දෙරණේ කොටසේ ගායනයට යටින් යන ප්‍රතිසංවාදය (counterpoint) ඇහෙන විට මට නිරාසායෙන්ම් සිහියට එන්නේ දෙවියනි ඔබ කොහිද චිත්‍රපටය වෙනුවෙන් රොක්සාමි මාස්ටර් නිර්මාණය කළ ආදර පුජාසනේ ගීතය.

අපේ සිංහල ගීත සාහිත්‍යයේ දේශාභිමානී ගීත බොහොමයක් තියෙනවා දරුවෙකු අමතා දේශාභිමානය ගැන ගයන හෝ දරු නැලැවිලි ගීයකට දේශාභිමානය මුසු කළ - මුනි සිරිපා සිඹිමින්නේ, ලක් වැසියන් කෙරෙහි නැමී වගේ. මේ ගීයත් එවන් ගීයක්. ගීතයේ රිද්මය සහ ලය දරු නැලැවිලි ගීතයකට සුදුසු ලෙසටත් තෝරාගෙන තියෙන බවක් පෙනෙනවා. 

මේ ගීතය රචනා කළේ ගාමිණී විජේතුංගයන්. එතුමා ගීත රචකයෙකුට වඩා පුවත්පත් කලාවේදියෙකු හැටියටයි අපි හඳුනන්නේ. 1970 දශකයේදී එතුමා දෙසතිය පුවත් සඟරාවේ සංස්කාරක ලෙස සේවය කරමින් ඒ සඟරාව ඉතා විශිෂ්ඨ ගණයේ සඟරාවක් බවට පත් කරන්නට මූලික වුණා.

3. සතර මහ සාගරය

ප්‍රවීණ නාට්‍යවේදියකු වූ ගුණසේන ගලප්පත්ති ගේ ගුණ සමරුව පසුගිය 27 වැනිදාට යෙදී තිබුණා. එතුමා නාට්‍ය 6ක් නිර්මාණය කර තියෙනවා. එයින් වඩාත්ම ප්‍රකට නාට්‍යය තමයි 1964 වර්ෂයේදී නිෂ්පාදනය වුණ් මූදු පුත්තු නාට්‍යය. මේ නාට්‍යය ස්පාඤ්ඤ ජාතික ගර්සියා ලෝර්කාගේ “යෙර්මා” නම් දෘෂ්‍ය කාව්‍ය ඇසුරෙන් රචනා කර තියෙනවා. ඒ නමුත් මූදු පුත්තු නාට්‍යය අපේ ධීවර ජීවිතය සහ අපේ සංස්ක්‍රුතියට ගැලපෙන පරිදි කළ ස්වතන්ත්‍ර නිර්මාණයක්.

 

මේ නාට්‍යයෙන් කියවෙන්නේ දරුවකු නොමැති කමින් පීඩා විඳින ධීවර ගැහැණියක වූ සරා ගේ කතාවයි. මේ නාට්‍යය ඒ කාලයේ තරමක් ආන්දෝලනාත්මක නාට්‍යයක් වුණා එහි කතා වස්තුව නිසා. ඇතැමුන් එය අසභ්‍ය නාට්‍යයක් ලෙස ගර්හාවට ලක් කළා. නාට්‍යයේ මංගල දර්ශනය අවසානයේ ඇතැමකු රඟහලෙන් පිටව ගියේ 'ඔන්න සිංහල වේදිකාවටත් කුණුහරුප බෝ කරලා' යැයි කියමින් බව සඳහන් වෙනවා.

මේ නාට්‍යයේ ගීත කිහිපයක්ම තිබෙනවා. එයින් සමහරක් ගීත රචනා කලේ මහගම සේකරයන්:
දිගක් පළලක් යොදුන් ගණනින් කියන්නට බැරි සාගරේ
මුහුදු පතුල යට ඉඳලා
බිලිඳු තොලක කිරි සුවඳ උරන්නයි

අනෙක් ගීත රචනා කළේ ගුණසේන ගලප්පත්තිමයි.
ඒ අහිං ලල්ල අහිං
සතර මහ සාගරය
කීර්ති මූක්ත හර
උඹෙ අම්මා කිරට ගියා
එපා පුතුනේ මූදු යන්නට

නාට්‍යයේ සංගීතය සෝමදාස ඇල්විටිගලයන් ගෙන්.

අපි දැන් අහන්නේ මේ නාට්‍යයේ එන සතර මහ සාගරය නම් ගීතයයි. වේදිකාවේදී නම් මේ ගීතය ගායනා කළේ සරාගේ චරිතය රඟපෑ, මීට ටික කලකට කලින් අප අතරින් වියෝ වූ සෝමලතා සුබසිංහ මහත්මියයි. නමුත් මේ ගුවන් විදුලි පටිගත කිරීමේ මේ ගීතය ගායනය කරන්නේ නන්දා මාලිනියයි. නන්දා මාලිනිය 1980 දශකයෙදී "නූතන නාටක ගී" නම් වූ සරල ගී වැඩසටහනකටත් මේ ගීතය නැවත ගායනා කළා. ඒ පටිගත කිරීම් දෙකටම අපි සවන් දෙමු.

4. සුදු හංසිනී

සිංහල සංගීතයේ ඒක පුද්ගල ගීත ප්‍රසංග අතරට අලුතින්ම එක් වුණ ප්‍රසංගය තමයි පසුගිය 24දා දොරට වැඩුණු දීපිකා ප්‍රියදර්ශනී පීරිස් ගේ "කවිය ඔබ" ප්‍රසංගය. දීපිකා ගීත ක්ශෙත්‍රයට පිවිසුනේ සින්ග්ලංකා සමාගමේ දොරට වැඩුම කැසට් පටයෙන් 1980 දශකයේ අග භාගයේදී. කුලරත්න ආරියවංශයන් ලියූ සිනා පොදක් වී, අන්න බලන් වගේ ගීත මේ කැසට් පටයට ඇතුලත් වුණා. ඉන් පසු ඇය ගීත කැසට් පට සහ සංගත තැටි කිහිපයක්ම ඉදිරිපත් කලා. නමුත් ඒ නිර්මාණ කාර්යයන් ඇය කලේ තරමක් හෙමින්, අවශ්‍ය තරම් කල් අරගෙන.

කවිය ඔබ ගීතය ඇය වෙනුවෙන් රචනා කළ සුනිල් ආර් ගමගේ ලියූ තවත් ගීතයක් වන සුදු හංසිනී ගීතයයි අපි දැන් අහන්නේ. ගීතයේ තනු නිර්මාණය රෝහණ වීරසිංහයන් ගෙන්. සංගීත සංයෝජනය කළේ රෝහණ වීරසිංහ සහ සුරේෂ් මාලියද්ද.

කවිය ඔබ ප්‍රසංගය තුලින් සාර්ථක දිගු ගමනක් යන්නට හැකි වේවා යයි මියුරස වින්දන තුලින් අපි ඇයට සුභ පතමු.

5. දිව්‍ය ලෝකේ ළඟයි පේන මානේ

ආනන්ද එස්. විජයසිරි නාට්‍ය කිහිපයක් නිෂ්පාදනය කළ නාට්‍යකරුවෙක්. බැද්දේ ගෝරනාඩුව, දෙව්ලොව යනකං, ජුලියස්‌ සීසර්, අහසින් යන උන්, සෝමාදේවි නූර්තිය, ඔතෙලෝ, නැට්‌ටුක්‌කාරයෝ ඔහු විසින් කළ නාට්‍ය. මේ අතුරින් වඩාත් ජනප්‍රිය වුනේ “දෙව්ලොව යනකන්” නාට්‍යයයි. එයට ප්‍රධාන හේතුවක තමයි ඒ නාට්‍යයේ එන ගීත.

දෙව්ලොව යනකන් නාට්‍යයේ ගීත කිහිපයක් තිබුණා - ඒ අතරින් “දිව්‍ය ලෝකේ ළඟයි පේන මානේ” සහ “අපි යන්ඩ යමූ (බොල පූරු පුතේ)” ගීත නාට්‍යයෙන් පිටත පවා බොහොම ජනප්‍රිය බවට පත් වුණා. මේ නාට්‍යය දේශපාලන උපහාස නාට්‍යයක් වුනත් එහි ගීත ගීත නූර්ති ශෛලියේ ගීතයි. පසුකාලීනව මෙම නාට්‍යයේ ගීත පාසැල් විෂය මාලාවටත් එකතු කර තියෙනවා. අපි දැන් අහන්නේ දිව්‍ය ලෝකේ ළඟයි පේන මානේ ගීතයයි. ගීතය රචනා කලේ ආනන්ද එස්. විජයසිරි මයි. සංගීතය එමිල් මෙන්ඩිස් ගෙන්. ගායනා කරන්නේ පුණ්‍යා කත්‍රිආරච්චි සමග ටයිටස් සී පෙරේරා.