මියුරස වින්දන 7

මියුරස වින්දන 7

ගීත එකතුව

  1. පරණ කෝට් (ප්‍රෙඩී සිල්වා / සුනිල් ආරියරත්න / ප්‍රේමසිරි කේමදාස)
  2. මන්දිර මණ්ඩප (ගුණදාස කපුගේ / උදය මානවසිංහ / වික්ටර් රත්නායක)
  3. බිලිඳු මුවින් (ටී එම් ජයරත්න, කමලානි පෙරේරා / අජන්තා රණසිංහ / ප්‍රේමසිරි කේමදාස)
  4. බෝගම්බර අපි - නෙලුම් කවි (විමලා අමරදේව)
  5. Harvest song from Bulgaria (Stefka Sabotinova and Bulgarian State Radio and Television Female Choir)

1. පරණ කෝට්

2015 මහ මැතිවරණයට කලින් අපි ඉදිරිපත් කලා සෙක්කුව නාට්‍යයේ එන "රාලේ බැඳපන් අපෙ පුස්සා" ගීතය එය කාලීන ගීයක් නිසා. ඒ වගේම කාලීන ගීයක් මැතිවරණයෙන් පසුත් ඉදිරිපත් කරන්නට හිතුණා. මේ ගීතය කේ ඒ ඩබ්. පෙරේරා මහතා අධ්‍යක්ෂණය කල ලොකුම හිනාව චිත්‍රපටයේ එන ප්‍රෙඩී සිල්වා මහතා ගායනා කරන, පරණ කෝට් නම් ගීතයයි.

මේ මැතිවරණයෙන් හිටපු මන්ත්‍රීවරුන් ඇමතිවරුන් පරාජය වුණා. තවත් කොටසක් ජයග්‍රහණය කලා. මේ දෙපිරිසම, වගේම පෘතග්ජන අපි වුනත්, අමතක කල නොයුතු දෙයක් තමයි නිල බලය, ජනප්‍රියත්වය, ධනය වගේ දේ සදාකාලික නොවන බව. විකට ගීයක් ලෙස මතුපිටින් පෙනෙන්නට තිබුනත්, පරණ කෝට් ගීතය තුල ප්‍රකාශ වෙන ගැඹුරු අර්ථයත් එය මයි.

ප්‍රෙඩී සිල්වා මහතා ගායනා කල බොහෝ ගීත වල ඉතාම ගැඹුරු යටි පෙළක් තියෙනවා. මතුපිටින් පෙනෙන සරල හාස්‍ය පෙනුමට අමතරව මේ යටි පෙළ තමයි මේ ගීත හුඟක් අලංකාර කරන්නේ. ඒ වගේම මේ ගීතයේ

එංගලන්තෙ පරණ පැටන් - කොළොම්පුරේ අලුත් පැටන්
කොළොම්පුරේ පරණ පැටන් - මේ පැත්තේ අලුත් පැටන්

කොටස ප්‍රෙඩී සිල්වා උච්චාරණය කරන ආකාරයෙන් අපේ සමාජයේ සමහරක් තමන් ඉංග්‍රීසි කතාවට වැඩිය පුරුදු බව පෙන්වන්නට සිංහල වචන ඉංග්‍රීසි ආකාරයෙන් උච්චාරණය කරන අය උපහාසයට ලක් කරනවා. ප්‍රෙඩී සිල්වා මහත්මයා ගීත කිහිපයකම තම කටහඬ එක් එක ආකාරයෙන් වෙනස් කරමින් ගායනය කරනවා.

ප්‍රෙඩී සිල්වා ගැයූ මෙවන් ගීත බොහොමයක් රචනා කලේ ප්‍රේමකීර්ති ද අල්විසුන්. ඒ නිසා බොහෝ දෙනෙක් තුල වැරදි වැටහීමක් තියෙනවා මේ ගීයත් රචනා කලේ ප්‍රේමකීර්ති ද අල්විසුන් කියා. නමුත් මේ ගීතය නම් රචනා කර ඇත්තේ සුනිල් ආරියරත්නයන්, සංගීතය ප්‍රේමසිරි කේමදාසයන්ගේ.

2. මන්දිර මණ්ඩප

kapuge-70අපි පසුගිය වැඩසටහනක සුනිල් එදිරිසිංහයන් ගායනා කල වාදකයාණෙනි ගීතය ගැන කතා කළා. ඒ ගීතයේ අදහසම ඊට වඩා තරමක් දැඩි ලෙස, විප්ලවකාරී ලෙස, ප්‍රකාශ කෙරෙන ගීතයක් රචනා කර තියෙනවා උදය මානවසිංහයන් - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ පුතණුවන්. උදය මානවසිංහයන් රචනා කර ඇත්තේ ගීත බොහොම ස්වල්පයයි, නමුත් ඒ ගීත ඉතාම අර්ථවත්. එතුමා ගුණදාස කපුගේ වෙනුවෙන් ලියූ "මාරියාවේ" ගීතයත් මේ වගේම අර්ථවත්.

උදය මානවසිංහයන් මේ ගීය ලියන්නේ ගුණදාස කපුගේ වෙනුවෙන්. ගීතයේ සංගීත නිර්මාණය වික්ටර් රත්නායකයන්ගෙන්. මේ ගීතයෙන් කියවෙන්නේ සිතාරයක් තම වාදකයාට කරන ආයාචනයක්. මේ සිතාරය, රජවරුන් හමුවේ මිනිසුන් ගයන ප්‍රශස්ති ගී දකින්නේ "පේළි සැදී සිට නගනා ගැති හඬ" ලෙසයි. සිතාරයේ ආයාචනය වන්නේ ලොව දුක් විඳින දනන්ගේ සිත් සැනසී යන ලෙන්ගතු රාවයෙන් එය වයන ලෙසයි.

ගුණදාස කපුගේ බොහෝ විරෝධාකල්ප ගීත, ජනතාවාදී ගීත ගායනා කල ගායන ශිල්පියෙක්. ඔහු සිංහල ගීත ක්ෂේත්‍රයේ එක්තරා ආකාරයක විප්ලවීය හඬක් හැටියට අපට හඳුන්වන්නට පුළුවන්. මා හිතන්නේ මේ ගීතයේත් ඔහු ඒ කාර්ය භාරය තමයි ඉටු කරන්නේ ජනතාව වෙනුවෙන්. සැබවින්ම ගුණදාස කපුගේගේ ලකුණ සිංහල ගීත ක්ෂේත්‍රයේ රඳවන්නට මේ ඔහුගේ සීමාවන්, බාධක, පවුරු, පදනම් බිඳදමා ගිය ඒ විප්ලවකාරී ගමන එක්තරා හේතුවක් වෙලා තියෙනවා.

කපුගේ මහත්මයාගේ මේ නිර්භය ක්‍රියා කලාපය නිසා ගුවන් විදුලියේ බලධාරීන්ගේ නොයෙකුත් ආකාරයේ දඬුවම් - සේවය අත්හිටුවීම්, දුෂ්කර පළාත් වලට මාරුවීම් වගේ දේ වලට මුහුණ දෙන්නට සිදු වුනා. එතුමා රජරට සේවයට මාරු කර යැවුනේත් දඬුවම් මාරුවීමක් හැටියට.

කපුගේ මහත්මයාගේ 70 වෙනි ජන්ම සංවත්සරය යෙදී තියෙන්නේ මේ මස 7 වෙනිදා. ඒ වෙනුවෙන් සැප් 11 දින බණ්ඩාරනායක ජ්‍යාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී "කපුගේට හැත්තෑවයි" නමින් ප්‍රසංගයකුත් පැවැත්වෙනවා.

3. බිලිඳු මුවින්

tm-gemtone

සිදුහත් කුමරුන් ඉපදී දින සතක් ඇවෑමෙන් මහාමායා මවු බිසව කළුරිය කළ බුද්ධ චරිතයේ සඳහන් වෙනවා. මහාමායා දේවිය කළුරිය කිරීමෙන් පසු සුදොවුන් මහරජුගේ අගමෙහෙසිය වුනෙත්, මහබෝසත් ළදරුවාට කිරි මවු වුනෙත් මහාමායා දේවියගේ නැඟණිය වූ මහාප්‍රජාපති ගෝතමියයි. සිදුහත් කුමරුන් ඉපදි දින පහකට පසුව මහාප්‍රජාපති දේවියත් නන්ද කුමරුන් බිහි කළා. අගමෙහෙසුන් වූ ප්‍රජාපති දේවිය සිදුහත් කුමරුන්ට සිය මව්කිරි දෙමින් පෝෂණය කළ අතර නන්ද කුමරුන්ට කිරි දී පෝෂණ කිරීම කිරිමවුවරුනට භාර කළා.

බෝසතාණෝ බුද්ධත්වයට පත්වුනාට පසුව කිඹුල්වත් පුරයට වැඩියා. පිය මහරජ බණ අසා සෝවන් වුණා. නන්ද කුමාරයා සහ රාහුල කුමාරයාත් පැවිදි වුණා. පසු කලෙක ශුද්ධෝදන රජතුමා රහත්ව පිරිනිවින් පෑවා. ඒ නිසා ප්‍රජාපති දේවියත පැවිදි වීමට සිතුවා. රෝහිණි ගංතෙර කලහ විවාද සූත්‍ර දේශනාව අවසානයේ පන්සියයක් කුමාරවරු පැවිදි වෙනවා. මහා ප්‍රජාපති ගෝතමිය විසින් මෙහෙයවන ලදුව ඒ කුමාරවරුන්ගේ බිසවුන් ද බුදුන් වහන්සේ වෙත ගොස් ඔවුන්ද මහණ කරන ලෙස ඉල්ලා සිටියා. එහෙත් බුදුන් වහන්සේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර වේසාලි වෙත වැඩම කළා. එහෙත් ප්‍රජාපති සහ පිරිස පසුබට වුනේ නෑ. ඔව්න් කරණවෑමියෙකු ලවා තම කෙස් වැටි කපා දමා, කහ සිවුරෙන් සැරසි පයින්ම ‘වේසාලි’ වෙත ගියා. ඔව්හු තුවාල වූ පාද සහිතව එසේ පැමිණ තමන් සඟ සසුනට ඇතුළත් කර ගන්නා ලෙස නැවත වරක් ආයාචනා කළා. එවරද බුදුන් වහන්සේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. එහෙත් ආනන්ද තෙරුන්ගේ මැදිහත් වීම නිසා බුදුන් වහන්සේ ඔවුන්ගේ ඉල්ලීම ඉටු කිරීමට පොරොන්දු වූයේ දැඩි කොන්දේසි අටක් පිළිපැදිය යුතු බව ප්‍රකාශ කරමින්.

ප්‍රජාපතී ගෝතමිය ගැන වූ මේ කතා පුවත අලලා අජන්තා රණසිංහයන් රචනා කල ගීතයක් තියෙනවා. ඒ ටී එම් ජයරත්නයන් සහ කමලානි පෙරේරා ගායනා කරන බිලිඳු මුවින් ගීතයයි. ගීතය සංගීතවත් කලේ ප්‍රේමසිරි කේමදාසයන්. ජෙම්ටෝන් ලේබලයෙන් නිකුත් කල ටි. එම්. ජයරත්නයන්ගේ කැසට් පටයකයි මේ ගීය අඩංගු වුනේ. එය ඊට කලින් ගුවන් විදුලි ගීයක් ලෙස පටිගත වී තියෙනවා. කමලානි පෙරේරා මහත්මිය ලමා ගායිකාවක ලෙස ගායනා කල තවත් ජනප්‍රිය ගීයක් තමයි ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් රචනා කල "අකුරට යනවයි කියලා ටිකිරි අයිය බැදි වල මයි" කියන ගීතය.

4. බෝගම්බර අපි

cdeskulathuilakaසී ද එස් කුලතිලකයන් අපේ සිංහල ජන ගායනා පිලිබඳ විශාල ලෙස පර්යේශණ කල විද්වතෙක්. එතුමා ගුවන් විදුලියේ පර්යේෂණ අංශය භාරව සිටියා. 1970 දශකයේ එතුමා නිතර කඳුරට ගුවන් විදුලියට එනවා. ඒ එන්නේ ඒ කාලයේ ආරම්භ වී තිබුණු මහවැලි ව්‍යාපෘතියට නිසා ජලාශවලට යටවන ගම් දනව් වල ඇවිද ගිහිල්ලා ඒ ප්‍රදේශවල තිබුණු ජන ගී විශාල ප්‍රමාණයක් පටිගත කිරීමේ කාර්යයටයි. අපට මතකයි දිවා රෑ නොබලා එතුමන් ඒ කාර්යයට වුණු කැපවීම.

එතුමා දුර බැහැර ගම්මානවලට ගොස් ජන ගීත පටිගත කර එ ඇසුරෙන් ගීත නිර්මාන කරමින් පර්යේශණ ගී නමින් වැඩ සටහනක් කලා. මේ ගීත වලට එතුමා සංගීතය යොදා ගත්තේ බොහොම අල්ප වශයෙන්. ඒ වගේම මේ ගීතවලට තබ්ලාව, සිතාරය වගේ භාණ්ඩ බහුලව උපයෝගී කර ගත්තේ නෑ - ඒවා උතුරු ඉන්දීය සංගීත භාණ්ඩ නිසා. ඒ වෙනුවට දේශීය බෙර, උඩැක්කි වගේ තාල වාදන භාණ්ඩ සහ ගිටාරය බහුල ලෙස භාවිතා කලා.

විමලා අමරදේවඑතුමා මේ පර්යේෂණ ගී අතුලත් LP ගී තැටි 5කුත් නිෂ්පාදනය කලා යුනෙස්කෝ ආයතනයේ අනුග්‍රහයෙන්. මේ පර්යේෂණ ගී තැටියක අඩංගු වන නෙළුම් කවි ගායනයක් තමයි අපි මීලඟට ඉදිරිපත් කරන්නේ. කවි ගායනය කරන්නේ විමලා අමරදේව මහත්මිය. එතුමිය පණ්ඩිත් අමරදේවයන්ගේ බිරිඳ වගේම දක්ෂ නැටුම් ශිල්පිණියක්. මේ කවි සඳහා නම් සිතාරය භාවිතා කර තිබෙන බව කිව යුතුයි.

විමලා අමරදේව මහත්මියගේ කටහඬ තුල ගැබ්වෙලා තියෙන්නේ ඉතාම ගැමි කටහඬක්. ඒ නිසා ජන ගී ගායනයට එතුමිය තරම් තවත් සුදුසු කෙනෙක් තවත් ඉන්නවාද යන්න සැක සහිතයි. ඈත ගම්මානයක ගොයම් නෙලන ළඳුන්ගේ ඕසේ හඬ ඇගේ කටහඩෙන් නිරන්තව නින්නාද වෙනවා.

5. Harvest song from Bulgaria

les-mystere-voix-bulgresඅපේ ගම්වල ගොයම් නෙලනවා කිව්වේ ගොයම් පැල හිටුවන එකටයි. මට මතකයි වැඩිහිටි කාන්තාවෝ ගොයම් පැල හිටුවන ගමන් කවි කියනවා. හැබැයි ඒ කවි අපි දැන් අහපු කවි වගේ නෙමෙයි ඊට වඩා දීර්ඝ ලෙස ඕසේ ඇද කියන කවි. ඊට තරමක් සමාන විදෙස් ජන ගීයක් තමයි අපි ඊලඟට අහන්නට යන්නේ.

මේ ජන ගීය නැගෙනහිර යුරෝපයේ රටක් වන බල්ගේරියාවේ ජන ගීයක්. බල්ගේරියාවේ ත්‍රාස් කියන තැනිතලා ප්‍රදේශයේ අස්වනු නෙලන ගීතයක් (harvest song) තමයි මෙය. ගායනා කරන්නේ බල්ගේරියානු ගුවන් විදුලි සහ රූපවාහිනී ගායිකා කණ්ඩායමේ (Bulgarian State Radio and Television Female Choir) සාමාජිකාවක් වන ස්ටෙෆ්කා සබොටිනෝවා (Stefka Sabotinova) නම් ගායිකාව.

මේ ජන ගී බල්ගෙරියාවේදී පටිගත කලේ අපේ සී ද එස් කුලතිලකයන් වගේම තවත් ජන ගී පර්යේශකයෙක් වන ස්විට්සර්ලන්ත ජාතික මාර්සෙල් සෙලියේ (Marcel Cellier). එතුමා මෙලෙස පටිගත කල ජන ගී කුලතිලකයන් වගේම තැටිගත කර ප්‍රකාශ කලා එතුමාගේම තැටි ලේබලයකින්. මේ ගී තැටි ඉතා විශාල ලෙස ලෝකය පුරාම ප්‍රචලිත වුණා. අප මේ ගීතය උපුටා ගත්තේ ඒ ගී තැටියකින්.