කේමදාස මාස්ටර් සහ අම්මා

කේමදාසගේ චරිතයෙහි ලා කැපී පෙනෙන ලක්ෂණයක්‌ වන්නේ සිය මව කෙරෙහි පැවැතුණු අසීමිත භක්තිය හා ලැදියාව යි. කේමදාස පවුලේ බාලයා වූ බැවින් ඔහු ලොකු මහත් වන තුරුම මවු සෙනෙහස නො අඩුව ලැබිණ. අම්මාවරුනේ ගීතයේ සිට මගේ කාලයේ මවුනි සංධ්වනිය දක්වා පැතිරුණු ඔහුගේ මාතෘ ප්‍රේම චින්තාව එම ළැදියාවේ උත්තරීකරණයක්‌ විය යුතුය.

කේමදාසයන් නිර්මාණය කළ මව් ගුණ ගීතයක් වන වූ මේ ලෝ තලයේ ගීතය අඩංගු වූයේ නවරැල්ල නම් ගීත නාටකයේ ය. එම ගීත නාටකයේ අරමුණ වූයේ උත්තර භාරතීය රස විවරණයේ එන නව නළු රසයන්, ගී පද, සංගීතය සහ නර්තනයන් මගින් වේදිකාවේ නිරූපණය කිරීමයි. මෙහි කරුණා රසය නිරූපණය කරන්නට කළ නිර්මාණය, පීලූ රාගය ආශ්‍රයෙන් අම්මා ගැන නිර්මාණය වූ සරල ශාස්ත්‍රීය ගීයකි. මේ ගීතය ගායනා කර ඇත්තේ ධර්මදාස වල්පොල සහ ලතා වල්පොල යි. නවරැල්ල ගීත නාටකයේ සියළුම ගී පද රචනය ධර්මසිරි ගමගේ විසින් රචනා කර ඇත.

කේමදාස මාස්ටර්, සංගීත මංජරී, කැලෑ මල් සහ සිරිකත එන මග

"සිරිකත එන මඟ ළා තණ ගොබ මත පිනිකැට අතුරාලා' ගීයට ඉතා සැලැකිල්ලෙන්‌ කන්‌ දුන හොත්‌ හිරු නැඟෙන උදයේ වැයෙන සංගීතයෙන්‌ මිනිසකුගේ පිබිදීම පිළිබිඹු වන බව ප්‍රත්‍යක්ෂ වනු ඇත. මේ පිබිදීම පෙන්වීමට යොදා ඇත්තේ ලතාවකට කෙමෙන්‌ පුබුදින මලක්‌ සිහි ගන්වන තනුවකි. මේ තනුවේ 'වෙය' හෙවත්‌ 'වේගය' සෙමෙන්‌ සෙමෙන්‌ ඉහළ නගී. ඇඟමැළි කඩමින්‌ මිනිහා ප්‍රාණවත්‌ වන්නේ ද මේ තනුවට අනුව ය. ගී රසයෙන්‌ මත්‌ ව නො දැනුවත්‌ ව ම පුබුදින කම්මල්කරුවා වැඩ පටන්‌ ගනී. ඔහුගේ කඩිසරකම අනුව තනුව ද වෙනස්‌ වේ.. දැන්‌ කම්මලේ මතුවන හැම වැඩක්‌ ම වෘදනයට මුසු වෙයි. 'මයින හම' අදින රිද්මයේ සාරය බඳු රිද්මයකින්‌ ගීයේ රිද්මය ද ලස්‌ පහත්‌ වෙයි. යකඩ තළන හඬ, ලිපේ බුර බුරා නඟින ගින්නට අඟුරු දමන හඬ, පීරි ගාන හඬ පසුබිමේ ඇසෙයි. මෙහි දී විශේෂයෙන්‌ සඳහන්‌ කළ යුත්තකි. යකඩයක්‌ පීරි ගාන අමිහිරි හඬ ඉතා මිහිරි අන්දමින්‌ 'වයලීන්‌' තුනක ආධාරයෙන්‌ මතු වේ. තනුවේ රිද්මයටත්‌, වෙයටත්‌ (වේගයටත්‌) හානියක්‌ නො වන ලෙස මේ වයලීන්‌ තුනේ ආධාරයෙන්‌ එය ඇතූළු කළෙමි. එය ඉතා අමාරු කටයුත්තක්‌ බව දැන්‌ ඔබට වැටහෙනවා ඇත. සංගීත නාට්‍යයක හැම ගීතයක්‌ ම සංගීතයට නැඟිය යුත්තේ හොඳ අවබෝධයකින්‌ යුතු ව ය.”

ජල තරංග, ග්ලොකන්ස්පීල් සහ වයිබ්‍රපෝනය

ජල තරංග, ග්ලොකන්ස්පීල් සහ වයිබ්‍රපෝනය අපේ සිංහල ගීත වල බෙහෙවින් භාවිතා වුණ වාද්‍ය භාණඩ තුනක්. මේ වාද්‍ය භාණඩ වල හඬ එකිනෙකට තරමක් සමාන නිසා ගීතයක හෝ වාද්‍ය ඛණ්ඩයක භාවිතා වී ඇති භාණ්ඩය කුමක්ද යන්න නිවැරදිව නිගමනය කිරීම තරමක් අපහසුයි.

ජල තරංග යනු පිඟන් මැටි (porcelain) වලින් සැදූ බඳුන් කිහිපයක් වතුර පිරවීමෙන් සුසිර (tune) කරගැනීමෙන් සාදාගත් සංගීත භාණ්ඩයක්. එම බඳුන් වලට ලී හෝ ප්ලාස්ටික් කෝටු දෙකකින් තට්ටු කිරීමෙන් බඳුන සහ පුරවා ඇති ජලය කම්පනය වීමෙනුයි නාදය උපදින්නේ. ජල තරංග පෙරදිග සම්භවයක් ඇති සංගීත භාණ්ඩයක්. ඉන්දියාවේ එය Jal Tarang ලෙස හැඳින්වෙනවා.

ග්ලොකන්ස්පීල් (glockenspiel) සහ වයිබ්‍රපෝනය (vibraphone) ජල තරංග වලට වඩා මුළුමනින්ම වෙනස්, බටහිර සමභවයක් ඇති භාණ්ඩ දෙකක්. භාණ්ඩ දෙකේම නාදය ඉපදෙන ආකාරය එකමයි. එක් එක් දිගින් යුත් ලෝහමය දඬු (metal bars) ලී හෝ ප්ලාස්ටික් කෝටු අගට කුඩා බෝලයක් අමුණා සාදාගත් mallet නමින් හඳුන්වන මිටියක් වැනි දෙයකින් තට්ටු කිරීමෙන් ඒවායේ නාදය ජනනය වෙනවා.

ලෝ පුරා රැව් නගා හේළි නාද පා

"ලෝ පුරා රැව් නගා හේළි නාද පා
ලක් රෙදෙව්ව කිත් සදා සදා දිනේ දිනේ"

ගුවන් විදුලියේ 25 වන සංවත්සරය වෙනුවෙන් සුනිල් සාන්තයන් සමග ගැයූ මේ ගීතය ඉන්ද්‍රාණි විජයබණ්ඩාර (සේනාරත්න) පටිගත කළ මුල්ම ගීයයි. ඉන් පසුව ඇය ගුවන් විදුලි ගීත නාටක, ගුවන් විදුලි සරල ගී වැඩ සටහන්, චිත්‍රපට, ග්‍රැමපෝන් තැටි, ඊ.පී. තැටි, කැසට් පට සහ සංගත තැටි වෙනුවෙන් ගීත විශාල සංඛ්‍යාවක් ගායනා කර තිබෙනවා. පසුගියදා අපෙන් වියෝවුණු එතුමිය 1997 වසරේදී කඳුරට ගුවන් විදුලියේ චූලාභය ශාන්ත කුමාර හේරත් සහෘදයා සමග කළ පිළිසඳරක් මේ.

රූබර වසත් කුමරි

මල් ගොමු ගුමු ගන්වන්නී - මී වදවල පැණි පුරවන්නී
කුරුලු සරින් කන් පිනවන්නී - මුළු ලොව උයනක් කරවන්නී

රූබර වසත් කුමරි - නමත් මිහිරි
නාඹර ගෝමර රැඳි මනරම්
නව සිරිනී - මල් බරිනී
වැජඹේ ලැබ මිහිකතගෙ වරම්

"මෙම රචනයේ මුඛ්‍යාර්ථය අවුරුදු අසිරියයි. අවුරුදු අසිරිය නිරූපණය කරනු සඳහා කවියා විසින් යොදාගෙන තිබුණු සිව්මත් කැටි විරිත අතිශයින් ගැලපුණා. මා එය ස්වර වලට නගන විට අනායාසයෙන්ම මා සිතට නැගුණේ, සරල සුගම ශුද්ධ ස්වර සමුදායක්. එමගින් ශෘංගාර රසයද දැනවෙන පරිදි, අවුරුදු අසිරිය මැනවින් ප්‍රකාශ වෙනවා. පසු කලෙක මා ගුවන් විදුලියටත් ඒ ගීතය ගායනා කළා. අද මල් ගොමු ගුමු ගුමු ගීතය අලුත් අවුරුදු කාලයට නැතිවම බැරි ගීතයක් බවට පත් වෙලා."

මියුරස වින්දන 15

මියුරස වින්දන 14

මියුරස වින්දන 13

මියුරස වින්දන 12

මියුරස වින්දන 11